දේශීය

කොරෝනා අවදානම නොතකා වැඩ කරන්න – අපනයන සංවර්ධනය ලියුම් ගහයි !

සපුගස්කන්ද කර්මාන්ත ශාලා සංකීර්ණයේ පිහිටි ට්‍රෙල්බෝර්ග් (Trelleborg) ලංකා පෞද්ගලික සමාගමේ සේවකයන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලය මගින් කරන ලද දැනුම්දීමක් නිසා කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු දිගටම පවත්වාගෙන යා යුතු බවත්, මෙම දැනුම්දීමට අනුව සේවයට වාර්තා නොකරන්නේ නම්, ඊට එරෙහිව පියවර ගන්නා බවත් වැඩිදුරටත් දැනුම් දී ඇත.

කටුනායක, බියගම ඇතුළු ප්‍රධාන ආයෝජන ප්‍රවර්ධන කලාප පවා වසා තිබියදී, මෙසේ සපුගස්කන්ද කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පිහිටි ටයර් නිෂ්පාදනයට අදාළ මෙම කර්මාන්ත ශාලාවේ කටයුතු පවත්වාගෙන යෑම බරපතළ ගැටළුවකි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. කුලසේකර සදහන් කළේ තමන් එම කර්මාන්ත ශාලා පරිශ්‍රය පරීක්ෂා කිරීමට ගිය බවත්, ඔවුන් අදාළ ලිපිය ඉදිරිපත් කිරීම නිසා තමන්ට කර්මාන්ත ශාලාවේ කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බවත් ය. කෙසේ වෙතත් අදාළ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය නම් කොරෝනා මර්දන ජනාධිපති කාර්‍ය සාධක බලකායේ අනුමැතිය අත්‍යවශ්‍ය බව තමන් සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයාට දැනුම් දුන් බව ද ස්ථානාධිපතිවරයා සදහන් කළේය.

කර්මාන්ත ශාලා පරිශ්‍රය අයත් කැලණිය කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මේ පිළිබදව කළ විමසීමකදී පැවසුවේ සේවයට වාර්තා කර ඇති සේවකයන්ට යම් වෛරස් ආසාධිත තත්ත්වයක් මතුවුවහොත්, ඊට සමාගම සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි. අපනයන සංවර්ධන මණ්ඩලය මගින් නිකුත් කර ඇති ලිපිය නිසා තමන්ට සමාගමේ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් විය නොහැකි බව ද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මේ පිළිබදව විමසීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් යූ. විජේකෝන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර, එහි ඉහළ නිලධාරියෙකු සදහන් කළේ රටේ අපනයන කටයුතු ස්ථාවරව පවත්වාගෙන යා යුතු නිසා මෙවැනි ලිපියක් නිකුත් කරන්නට ඇති බවයි. එහෙත් පවතින වසංගත තත්වය නිසා අපනයනයට අදාළ සමාගම් රැසක් වසා දමා ඇති තත්ත්වයක් යටතේ, මෙම සමාගමට පමණක් මෙහෙයුම් කටයුතු කිරීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පැවසුවේ තමන්ට ඒ පිළිබදව කිසිවක් පැවසිය නොහැකි බවයි.

සේවකයන් 400 කට අධික සංඛ්‍යාවක් මෙම කර්මාන්ත ශාලාවේ වැඩ මුර ක්‍රමයට සේවය කරයි. නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශයට පත්කොට, නිරෝධායනය කළ යුතු රෝගයක් ලෙස විශේෂ ගැසට් පත්‍රයකින් පවා නම් කර තිබියදී මෙන්ම, රට පුරා ඇදිරි නීතිය පනවා තිබියදී මෙම සමාගමට පමණක් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් මෙවැනි ලිපියක් නිකුත් කිරීම බරපතළ තත්ත්වයකි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදාළ සමාගමේ මානව සම්පත් කළමනාකරුවන සනත් පල්ලියගුරු පැවසුවේ දුරකතනයෙන් කිසිවක් පැවසිය නොහැකි බවත්, සේවා ස්ථානයට පැමිණ තමන්ව හමුවන්නේ නම් පමණක් කතා කළ හැකි බවත් ය. පවතින තත්ත්වය යටතේ එසේ කිරීමේ දුෂ්කරතාව පැහැදිලි කිරීමේදී, ඊට බාධා කරමින් ඔහු සදහන් කළේ එය තමන්ට අදාළ නැති බවත්, තමන්ගෙන් ප්‍රකාශයක් අවශ්‍ය නම් පැමිණෙන ලෙසත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button