දේශීය

“යුද හමුදාවට යුද්ධයේදී දුන් සහාය – සුව හමුදාවට කොරෝනා සටනේදීත් දෙන්න”

දිවි පරදුවට තබා කොරෝනා මර්දනයේ යෙදෙන සුව සේවකයන්ට බාහිර සමාජයෙන් විවිධ පීඩා එල්ල වන බව පිළිගන්නා සෞඛ්‍ය සේවයේ ප්‍රධානතම රාජ්‍ය බලධාරියා යුද සමයේදී සොල්දාදුවන්ට සහාය වු අයුරින් මේ මොහොතේ සෞඛ්‍ය සේවකයන්ට සහාය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අතර, සෞඛ්‍ය සේවක ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් ප්‍රමාණවත් සැලසුම් යොදා නැති බවට චෝදනා ආණ්ඩුවට විරුද්ධ වන්නාවූ මෙන්ම ඊට සහාය පලකරන්නාවූද වෘත්තීය සමිති නායකයන්ගෙන් නැගී තිබේ.

සෞඛ්‍ය සේවකයන් නවාතැන්ගෙන සිටින ස්ථාන වලින් ඉවත් වන ලෙස ඔවුනට බලපෑම් එල්ල වී ඇති අවස්ථා වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සෞඛ්‍ය සේවයේ විශේෂඥ අධ්‍යක්ෂකවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට කම්කරු ශ්‍රේණිය දක්වාම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් ගන්නා බව පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා අවධාරණය කරන්නේ තමන්ගේ ජීවිතයටත් යම් අනතුරක් දරාගනිමින් ඔවුන් සියලු දෙනා තම සේවාව සිදු කරන බවයි.

උපරිම සෞඛ්‍යාරක්ෂාව

සෞඛ්‍ය අංශයේ සේවකයන් සියලු දෙනා රෝගීන් සමග කටයුතු කරන්නේ අනෙක් සියලු දෙනාට වඩා පරීක්ෂාකාරී හා ආරක්ෂාකාරීව බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එහිදී වැඩි දුරටත් සදහන් කළේය.

අංගොඩ උණ ජාතික රෝහලේ සේවකයන් කිහිපදෙනකුට ඔවුන් නවාතැන්ගෙන සිටින ස්ථාන වලින් ඉවත් වන ලෙස නිවෙස් හිමිකරුවන් විසින් දැනුම් දී තිබු අතර පසුව සේවකයන්ට උණ රෝහල විසින් නවාතැන් පහසුකම් සලසා දී තිබු බව රෝහල් සේවකයකු පසුගියදා මාධ්‍ය වේදීන් හා කියා තිබුණි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කර තිබුනේ කොරෝනා වෛරසය රට තුලට ඇතුළු වීමෙන් පසුව සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ප්‍රශ්න රැසකට මුහුණ දීසට සිදුවු අතර ඒවා නිරාකරණය කිරීමට සෞඛ්‍ය අමාතාංශය සහ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.

හෙද කාර්ය මණ්ඩලයද විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන බව පෙන්වා දෙන වෘත්තිය සමිති නායකයා අවධාරණය කළේ අප්‍රේල් 03 වන දා දක්වා සෞඛ්‍ය සේවකයන්ට නිවාඩු අවලංගු කර ඇති බැවින් ඈත ප්‍රදේශවල සිට රාජකාරි වාර්තා කරන හෙද කාර්ය මණ්ඩලය ඇදිරිනීතිය ක්‍රියාත්මක වන තත්වය තුළ විවිධ දුෂ්කරතා වලට මුහුණ දුන් බවයි.

කෙසේ නමුත් ඔවුනට තමන් පදිංචි ස්ථානයට ආසන්නතම රෝහලේ සේවයට වාර්තා කිරීමට යම් තාක් දුරට අවස්ථාවක් ලබා දීමට හැකි වීම මත එම ගැටළුව තරමක් දුරට විසදා ගැනීමට හැකි වු බව ඔහු සදහන් කළේය.

විධිමත් ක්‍රමවේදයක් නෑ

නමුත් එම ක්‍රමය ක්‍රියාත්මක වීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බව හෙද නිලධාරී සමන් රත්නප්‍රිය වැඩි දුරටත් සදහන් කළේය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අත්‍යවශ්‍ය සේවයක නිරතව සිටින මේ මොහොතේ ඔවුනට නිවෙස් සඳහා අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් ආන්ඩුව විසින් සකස් කළ යුතු බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර තිබුණි.

මේ වන විට එදිනදා ප්‍රශ්න වැඩි පුරම වාර්තා වන්නේ සෞඛ්‍ය ක්ෂ්‍රේත්‍රයේ බැවින් එය කළමනාකරණය කරන ලෙස සෞඛ්‍ය අමාතාංශයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය හමුවේදී පෙන්වා දුන් ඔහු අවධාරණය කළේ ගර්භනී තත්වයේ පසුවන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද මෙහිදී සැලකිලිමත් විය යුතු බවයි.

කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිවාඩු අවලංගු කිරීම හේතුවෙන් එම ක්ෂේත්‍රයේ විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුව ඇති බව පෙන්වා දෙන හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා පෙන්වා දී තිබුනේ හෙද කාර්ය මණ්ඩලය අපහසුතා රැසකට මුහුණ පා සිටින බවයි.

“අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිවාඩු අවලංගු කරපු නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ගැටළු වලට පත්වෙලා තිබෙනවා. හෙද කාර්ය මණ්ඩලය අද බොහෝම අමාරු තත්වයකින් තමයි සේවය කරන්නේ. අඩුම තරමේ ඔවුන්ට බඩුවක් මුට්ටුවක් ගන්න බැරි තත්වයටයි පත්වෙලා තියෙන්නේ….”

යැයි රාජපක්ෂ හිතවාදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

මාධ්‍ය හරහා කොරෝනා රෝගය පිළිබඳව කතා කරන ආකාරයෙන්ම සුව සේවකයන් මුහුණ දී සිටින අපහසුතාවයන් ගැනද දැනුවත් කරන ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා තිබුණි.

වැඩ වර්ජන වැලැක්වීම

සෞඛ්‍ය බලධාරින්ගේ හා හෙද පාලිකාවන්ගේ අකාරුණික බව හේතුවෙන් රෝහල් කිහිපයකම හෙදියන් වැඩ නොකර සිටීමට ගත් තීරණය තමන් මැදිහත්ව වෙනස් කළ බවක් මුරුත්තේටුවේ ආනන්ද හිමියන් එම මාධ්‍ය හමුවේදී සදහන් කර තිබුණි.

“ඇත්ත වශයෙන්ම රෝහල් කිහිපයකම වැඩ නොකර ඉන්න තීරණය කළත්, ඇත්ත වශයෙන්ම අපි අවවාද අනුශාසනා කරලා මේ වෙලාව සටන් කරන වෙලාවක් නෙවෙයි ජනතාව ආරක්ෂා කරන වෙලාවක් රට බේරා ගන්න වෙලාවක් ඒක නිසා ඒ ගැන මොන කරදර කම්කටොලු තිබුණත් රට වෙනුවෙන් වැඩ කරන්නයි කියලා මතක් කළා….

ඇත්තටම, ඔවුන්ට එරෙහිව ආයතන ගණනාවක් කටයුතු කරනවා. එක පැත්තකින් කොළඹ ජාතික රෝහල ඒ වගේම රාගම රෝහල මීගමුව රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයක් අද අකරුණාවෙන් හෙද පාලිකාවන් ක්‍රියා කරනවා. ඔවුන්ගේ මේ අකරුණාවන්ත ක්‍රියා නිසා සමහර හෙදියෝ කියනවා අපිට රස්සා නැතිවුණත් කමක් නැහැ අපි දමලා ගහලා යනවා යන්න කියලා.”

යැයි මුරුත්තේටුවේ ආනන්ද හිමියන් එහිදී සදහන් කර තිබුණි.

එබැවින් හෙද කාර්ය මණ්ඩලයට නිදහසේ වැඩ කටයුතු කළ හැකි වාතාවරණයක් සකසා දෙන ලෙස එහිමියන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගෙන් ඉල්ලා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button