පුරවැසි කොළම

මිනීමරුවන් රණවිරුවන් කරනා ‘බයි’ පොලිටික්ස්

එල්ලෙන්නට වැලක්, විලිවසා ගැනීමට රෙද්දක් සොයමින්, සත්‍යයේ සැඩ පහරට හසුව ගසාගෙන යන අසත්‍යයේ නිර්මාපකයින්ට තවත් පිදුරු ගසක් හමුව තිබෙනවා. ඔවුන් එම පිදුරු ගසෙහි එල්ලෙමින් සත්‍යයේ සැඩ පහරින් බෙරීමට අසත්‍ය රජ කරවීමට උත්සාහ කරනවා. නමුත් ඔවුන්ට සහනයක් ලැබෙන්නේ මද වේලාවකට පමණයි. සත්‍යයේ දිය දහර අසත්‍යට වැඩි ආයුෂ ලබා දෙන්නේ නැහැ.

කතානායකයා මහේශ්වරන්. භාෂාව දෙමළ. යාපනයට කිලෝමීටර් 16ක් පමණ දුරකින් පැවති මිරුසුවිල් නම් ප්‍රදේශය කාලයකට ඉහත එය කොටි සංවිධානයේ පාලනයට නතු වෙලා තිබ්බ ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ පදිංචිව ඉදපු මිනිස්සු ආරක්ෂාව පතා රජයේ පාලන ප්‍රදේශ වලට ඇවිත් තිබෙනවා.

2000 වසර වන විට මිරුසුවිල් ප්‍රදේශය LTTEයෙන් මුදවගෙන රජයේ හමුදා විසින් පාලනය කරන තත්වෙක තමයි තිබුනෙ. කලින් මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචි කරුවන් විදිහට ඉදපු මිනිසුන් වරින් වර තමන් ඉදපු ඉඩම් වලට ගොස් තම තමන්ගේ භව භෝග ආදිය රැගෙන නැවතත් තමන් වර්තමානයේ පදිංචි ප්‍රදේශවලට එන එක පුරුද්දක්ව තිබුනා. ඒ ප්‍රදේශය පදිංචිය අත්හැරි පෙදෙසක් නිසා තරමක වන ගහනයකින් යුක්තව තමයි ඒ වනවිට මිරුසුවිල් ප්‍රදේශය තියෙන්නෙ.

ඔන්න දැනුයි කතානායකය කතාවට එන්නෙ. 2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා මහේශ්වරනුත් ඔහුගේ නෑදෑ පිරිසකුත්, එක් නෑදෑ සොහොයුරකුගේ දරුවන් දෙදෙනා වන වයස අවුරුදු 5 සහ අවුරුදු 13 වන අයත් සමගින් පුද්ගලයින් 9 දෙනෙකුන් යුත් කණ්ඩායමක් මිරුසුවිල් ප්‍රදේශය කරා බයිසිකල් වල නැගී පිටත් වූයේ තමන්ගේ ඉඩමේ ඇති භව භෝග රැගෙන ඒමේ හා ඉඩමට සාත්තු සප්පායම් කිරීමේ අරමුනෙන්. කලින් සදහන් කල කුඩා දරුවන් දෙදෙනාද දෛවෝපගත ලෙසම තම පියා සමගින් එම ගමනට එක්ව තිබුනා. දිවා කාලයේ තම ඉඩමට පැමිණ තම කාර්යන්හි නියතව ගෙදර යෑමට සූදානම් වූ අවස්ථාවේ යුද හමුදා ඇදුම් වලට සමාන ඇදුම් වලින් සැරසුනු පිරිසක් පැමිණ ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් අනතුරුව එම පිරිසේ සිටි 9 දෙනාගේම දෑස් බැද දමමින් ඔවුන් යම් දිශාවකට රැගෙන ගොස් වැටකින් එහා පැත්තට ඔවුන් ඔසවා විසි කර තිබෙනවා. ඒ අවස්ථාවේදී මහේශ්වරන්ගෙ ඇස් බැද තිබුනු රෙදිකඩ එහා මෙහා වෙලා මහේශ්වරන්ට අවට පෙනෙන්න අරගෙන තියෙනව. ටික වෙලාවකින් යුදහමුදා ඇදුමට සමාන ඇදුමකින් සැරසී සිටි පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මහේශ්වරන් අසල තිබුනු වැසිකිලි වලක් ලගට රැගෙන ගිහින්. එතන ආයුද සන්නද්ද තවත් හමුදා ඇදුමට සමාන ඇදුම් ඇදගත් පුද්ගලයෙක් ඉදල. වැසිකිලි වල තුල මිනිසුන් කෑගසන දගලන ශබ්දයෙනුත් අවට තම නෑ පිරිස නැති බව දැනීමෙන් බියපත් වුනු මහේශ්වරන් තම ගමේ තමන්ට ඇති හුරුපුරුදුව කියාපාමින් හමුදා සෙබලුන්ගෙන් මිදිල කැලයට පැන පණ බේරගෙන තියෙනව.

පහුවෙනිද වෙනකම් කැලයේ කල අසීරු ගමනින් පස්සෙ තමන් එවකට පදිංචි නිවසට එන මහේශ්වරන් තම පියා දැනුවත් කරල රෝහල් ගත වෙනව. ඉන් දවස් දෙක තුනකට පස්සෙ ඊපීඩීපී සංවිධානයට දැනුම් දීල ඔවුන්ගෙ මාර්ගෙන් මානව හිමිකම් සංවිධානවලටත්, යුද හමුදාපතිවරයාටත් දැනුම් දෙනව. ඒ අනුව ක්‍රියාත්මක වුනු යුද හමුදාපති වරයා පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න නියෝග දෙමින් යුද හමුදා පොලීසියටත් පරීක්ෂණ කරන්න බාර දෙනව.

යුදහමුදා පොලීසිය මහේශ්වරන්ගෙන් ප්‍රශ්න කරන්න ආවට, ඒ ඇදුමටත් බය වුනු මහේශ්වරන් පසුව කෙමෙන් කෙමෙන් යුද හමුදා පොලීසියට හුරු වෙලා තියෙනව. ඉන් අනතුරුව යුදහමුදා පොලීසිය විසින් මහේශ්වරන් ඔය සිදුවීම සිදු වුනු ස්ථානයට එක්කරගෙන ගිහින් තියෙනව. ඒ සිදුවීමෙන් දින 7කට 8කට විතර පස්සෙ. එම ස්ථානයට යන විට සිදුවිම සිදුවූ වැසිකිලි වල මත රුධිරය දක්නට ලැබිල. ඒත් එක්කම ඒ අවට එලුවෙකුගේ මාංශ කොටස් එලුවෙකුගෙ හම් කැබලි මෙන්ම එලුවෙක් ඇල්ලීමට යොදාගන්නා ලදැයි සැක කල හැකි මංදක් දකින්නත් ලැබිල. නමුත් සැකය අත් නොහල යුද හමුදා පොලීසිය විසින් වැසිකිලි වල තුල යම් කිසි හෝඩුවාවක් තිබෙ දැයි විපරම් කරල. ඒත් වැසිකිලි වල තුල කිසිම මළ සිරුරක් දක්නට ලැබිල නෑ. යුදහමුදා පොලිස් නිලධාරීන් එතනින් ඉවත් වෙන්න යන අවස්ථාවෙදී ඒ ආසන්නයේ ගැවසුනු හමුදා අනුකණ්ඩයක් දැකල ඔවුන්ව ලගට ගෙන්නගෙන. එක් වරම එක් පුද්ගලයෙක් දුටු මහේශ්වරන් මහ හඩින් විලාප දෙමින් තමන්ට පහර දුන් පුද්ගලයා ඔහු බවට හදුනාගෙන තිබෙනව. ඒ තමයි පළමු විත්තිකරු. මේ දිනවල බයියන්ගේ ජාතික වීරයා සාජන්ට් සුනිල් රත්නායක.

ඉන් පසුව ක්‍රියාත්මක වුනු යුද හමුදා පොලීසිය සාජන්ට් සුනිල් රත්නායකගෙන් ඒ සම්බන්ධව ප්‍රශ්න කරල. ඔහු හෙළිකල කරුණු අනුව සහ ඔහුගේ මගපෙන්වීම අනුව කැලයේ යම් තැනක් සොයාගෙන එය පස්වලින් යමක් වසා දැමූ සලකුනු පෙන්වල. එතැන මළ සිරුරු ඇතැයි සැක කල යුද හමුදා පොලීසිය විසින් ශ්‍රී ලංකා පොලීසිය හා මහේශ්ත්‍රාත්වරයා හා අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා පැමිණ එම ස්ථානයෙන් මල සිරුරු 8ක් ගොඩට ගෙන තිබෙනවා. ඒ සියලුම මළ සිරුරු ගෙල කපා ඝාතනය කර තිබූ ඒවා. ඔවු ඒ එදා මහේශ්වරන් සමග පැමිණි කුඩා දරුවන් දෙදෙනාද ඇතුලත් නෑදෑ පිරිස.

තව දුරටත් සුනිල් රත්නායකගෙන් කල ප්‍රශ්න කිරීම් මගින්, කපිතාන් රාජසිංහ, වෙදකාරගෙදර සේනක මුනසිංහ, යුද හමුදා බලයලත් නිළදාරී ගාමිණි මුනසිංහ, සැරයන් වරුන් වන හෙරත් මුදුයන්සේලාගේ ජයරත්න හා සුබසිංහ ආරච්චිලාගෙ පුශ්ප සමන් කුමාර යන අයවත් සැක කරුවන් ලෙස නම් කරමින් අධිකරණය ඉදිරියෙහි චෝදනා ගොනු කරමින් නඩු පවරනව. අර කලින් කියපු වැසිකිලි වල උඩ තිබුනු ලේ එලුවෙක්ගෙ නොවෙයි මිනිස් ලේ කියල රජයේ රස පරීක්ෂක වරයට හෙළිවෙනව. සැකකරුවන්ගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේ වෙනත් වැසිකිලි වලක තිබිල මහෙශ්වරන්ගෙ පිරිස ආපු බයිසිකල් හමුවෙනව. වසර 15ක් පමණ කල් ගතවුනු අධිකරන ක්‍රියාවලිය අවසානයේ දී එනම් පසුගිය ජුනි 25 අධිකරණය විසින් පළමු විත්තිකරුව වැරදිකරු කරමින්ද, අනෙක් විත්තිකරුවන්ට එරෙහි ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා සැකයේ වාසිය ඔවුන්ට දෙමින් ඔවුන් නිවැරදි කරුවන් කරමින් තීන්දුව ලබා දෙනව.

ඔන්න ඔය සිදුවීම තමයි රන විරුවන් පෝරකයට නග්ගනව කියල, සුනිල් බෙරාගනිමු! කියල බයියන්ට උදාන වාක්‍ය සපයපු කතාව. රණ විරුවන්ට සැබවින් ආදරය කරන මිනිස්සු නම්, රණ විරුවන්ට සැබවින් ආදරය කරන දේශපාලකයො නම්, කරන්න ඕනෙ රණ විරුවන්ගෙත් නාමයෙ මඩ තවරපු සුනිල් වැනි පුද්ගලයින්ට දඩුවම් කිරීම නොවේද?

බයියන්ගෙ තර්ක වලට අපිට අහන්න ප්‍රශ්න තියෙනව. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බයියන්ට කොන්දක් නෑ කියලත් දන්නව. දන්නා කෙනෙකුන්ට පිළිතුර දෙන්න හැකිවෙත්වා කියල පතමින් ප්‍රශ්න 5ක් අහන්නම්….

1. දිගු දුර විහිදුම් බලකා සෙබලෙක්ට හමුදා පාලන ප්‍රදේශයක් තුල පැවරී තිබුනු මෙහෙයුම කුමක්ද?
(අපි දන්න දිගු දුර විහිදුම් බලකා සෙබලු නම් මෙහෙයුම් දියත් කරන්නෙ සතුරන්ගේ පාලන ප්‍රදේශ තුල. ඕකත් අර කිලිනොච්චි ඉන්න ප්‍රභාකරන් මරන්න ක්ලේමෝ එහෙම තියාගෙන බුද්ධි අංශ සාමාජිකයින් මේ කොළඹ, මිලේනියම් සිටි එකට වෙලා හිටිය කියන කතාව වගේම එකක්)

2. නුඹලා කියනා පරිදි සිවිල් ඇදුමෙන් සැරසුනු සියලුම දෙනා ත්‍රස්තවාදීන් නම්, ඒ ගෙල කපා මරා දුමුනු 8 දෙනාම ත්‍රස්තවාදීන් නම්, කුඩා දරුවන් දෙදෙනා ළමා ත්‍රස්තවාදීන්ද? අවුරුදු 5ක ළමයෙකුත්?

3. ප්‍රශ්ණෙ නීතිය ඉදිරියට ගෙනාව ඊපීඩීපී එකෙන්. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රීතුමා ඩග්ලස් දේවානන්දා මැතිතුමා වැරදි කාරයෙකුත් නොවී, ප්‍රශ්ණ කරන්න අන දීපු එවකට යුද හමුදාපතිවරයත් වැරදි කාරයෙක් නොවී, ප්‍රශ්ණ කරපු ශ්‍රි ලංකා පොලීසිය වත් යුද, හමුදා පොලීසිය වත් වැරදි කාරයෙක් නොවී, අවුරුදු 10ක් බලයෙ හිටිය, මේ රණ විරුවන් වෙනුවෙන් කිසිම දෙයක් නොකල පර්සි මහේන්ද්‍ර රාජපක්ෂත් වැරදි කාරයෙක් නොවී, හරි හමන් සාක්ෂිත් නැතුව ඉදපු රණ විරුවන් 4 දෙනෙක් නිදහස් කරල මණුෂ්‍ය ඝාතන 8කට වරදකරු බවට ඔප්පු උනු මනුස්සයව නීතිය විසින් දඩුවම් කල වෙලාවෙ පාලන බලයේ ඉදපු පසුගිය ආණ්ඩුවෙ නායකයින් වැරදි කාරයෙක් වෙන්නෙ කොහොමද?

4. යුද හමුදා සෙබලෙක් හෝ වේවා හමුදා සෙබලෙක් හෝ වේවා ඔවුන් විසින් වරදක් කල හොත් රණ විරුවකු ලෙස සලකා ඔහුව වීරයෙක් කලයුතු ද?, එසේ නොමැතිනම් වැරදිකරු කුමන නිළ ඇදුමකින් සිටියත් වරදට දඩුවම් ලැබිය යුතුද? (රණ විරුවකු විසින් තමන්ගේ පිරිසකට එසේ කලා නම් ඔබත්, ‘අනේ රණ විරුවෙක්නෙ…’ කියල නිහඩව ඉන්නවද?)

5. අපේම රටේ, අපේම පසේ ජීවතය දිය කරන, වෙනත් භාෂාවක් කතා කරන මිනිසුන්ට අප විදින නිදහස, අප ලබන පිලිසරණ අහිමි යැයි තින්දු කලේ කවුරුන්ද? (ඔවුන්ට අසාධාරණයක් වුනු අවස්ථාවෙදී ඔවුන් කළේ, ලාංකීය රජයේ නීතිය පසිදලන ස්ථාන වලට ඒ අසාධාරනය හෙළි කිරීමයි)


ඉනෝක ජීවන්
(vikalpa.org ඇසුරින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button