දේශීය

සිංහරාජයේ මහා පරිමාණ වෙනිවැල් ජාවාරමක් – ඇඳිරි නීතිය කාල සීමාවේදී

ඇඳිරිනීතිය පවතින කාල සීමාවේ සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයන්හි වෙනිවැල් කැපීමේ ජාවාරම දිගින් දිගටම සිදුවෙතැයි වාර්තා වෙනවා.

පවතින වසංගත තත්ත්වය හමුවේ වෙනිවැල් සදහා පවතින ඉල්ලුම ඉහල යාමත් සමග මෙසේ වෙනිවැල් කපා විකිණීමේ ජාවාරමක් සිදුවන බවයි එම ප‍්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

නෙළුව ආසන්න ප‍්‍රදේශයන්හි මෙම ජාවාරම වැඩි වශයෙන් සිදුවන අතර වාරුකන්දෙනිය, කොස්මුල්ල, කොලොන්තුඩුව වැනි සිංහරාජ වනාන්තරයේ ප‍්‍රදේශ ගණනාවක මෙම තත්ත්වය විශාල වශයෙන් දැකිය හැකි වන බවත් ඔවුන් පවසනවා.

ඇඳිරිනීතිය පවතින අවස්ථාවේ වෙනිවැල් කපන අතර ඒවා ප‍්‍රවාහනය කරනු ලබන්නේ ඇඳිරිනීතිය ඉවත් කරනු ලබන වේලාවන්හි දි යි.

වෙනිවැල් අලෙවි කිරීමේ බලපත‍්‍ර නෙළුව ප‍්‍රදේශයේ කිහිප දෙනෙකුට ලබා දී ඇති අතර එම පුද්ගලයින්ට බලපත‍්‍ර ලැබී ඇත්තේ ගෙවතු වලින් කපන වෙනිවැල් අලෙවි කිරීම සඳහායි.

මේ වනවිට එහි කිසිදු ගෙවත්තක වෙනිවැල් නොමැති නමුත් මෙම නියෝජිතයින් අලෙවිය සදහා ප‍්‍රවාහනය කරන්නේ සිංහරාජයෙන් කපන වෙනිවැල් බවටයි ගම් වැසියන් පවසන්නේ.

ඇඳිරිනීති කාලයේ කිසිදු වන නිලධාරියෙකු වනයේ නොමැති නිසා මෙසේ ජාවාරම්කරුවන් එක්ව වනාන්තරයෙන් වෙනිවැල් කපන බවත් මෙම ජාවාරම පිළිබදව වහා සොයා බලන්නැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එම ගම්වාසින් ඉල්ලා සිටිනවා.

විනීතා එම්. ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button