දේශීය

ඇඳිරි නීතිය දාන්න කලින් ගේට්ටු වහල වැඩ ගත්ත, කටුනායක ඇඟලුම් සේවිකාවන් 20000කගේ කතාව

- ලංකා නිව්ස් වෙබ්

හදිසියේ පැනවූ ඇඳිරි නීතිය තත්වය හේතුවෙන් සිය ගම්බිම් බලා යාමට අපොහොසත් වූ ඇඟලුම් සේවිකාවන් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිති.

කොරෝනා වසංගතයේ අධි අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති ප්‍රදේශයක මෙසේ සිරවී සිටින ඔවුන් උග්‍ර ආහාර පාන හිඟයකට සහ සනීපාරක්ෂාව පිළිබඳ ගැටළු ගණනාවකට ද මුහුණ දී සිටිති.

ඇඳිරි නීතිය හේතුවෙන් දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කර ඇති හෙයින්, අද දිනයේ ද කටුනායක ඇවරිවත්ත පොලිස් ස්ථානයට මෙම තරුණියන් කණ්ඩායම් වශයෙන් පැමිණ සිය ගම්බිම් බලා යාමට අවසර ඉල්ලා සිටින ආකාරය දැකගත හැකි විය. නමුත් පොලිසිය ඔවුන්ව ආපසු හරවා යවන්නේ තමන්ට එවැනි අවසරයක් නිකුත් කිරීමට බලයක් නැති බව පවසමිනි.

ජනපතිගේ නියෝගයෙන් පසු ගේට්ටු වහලා වැඩ ගත්තා

අපනයන ඉලක්ක කර ගත් කර්මාන්ත අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කිරීම පසුගියදා සිදු වූයේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ නියෝගයෙනි. රටේ ආර්ථිකය කඩා වැටීම අඩු කර ගැනීමේ පියවරක් ලෙස මෙය සිදු කෙරුණු අතර, ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් එයට අදාළ විධානය නිකුත් කෙරිණි. නිදහස් වෙළඳ කලාප සේවිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන ‘ඩාබිඳු’ සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරක චමිලා තුෂාරි ඒ පිළිබඳ මෙසේ අදහස් දක්වයි.

“මේ ලියුම පාවිච්චි කරල තමයි මේ ළමයින්ගෙන් වැඩ ගත්තෙ. සමහර සමාගම් ගේට්ටු දාලා 19 වෙනකල් වැඩ ගත්තා. අන්තිමට ඔවුන්ට ගම්බිම් බලා යන්න කිසිම විදිහක ප්‍රවාහන පහසුකමක්වත් සපයන්න ඔවුන් කටයුතු කළේ නැහැ….”

මෙම නිදහස් වෙළඳ කලාප සේවිකාවන්ගෙන් අති බහුතරය කිලෝමීටර සිය ගණනක් වන දුර පළාත්වල සිට රැකියාව සඳහා පැමිණි අය වෙති. උතුරු නැගෙනහිර පළාත්වලින් පැමිණි අති බහුතරයක් ද මේ අතර සිටිති.

දැවැන්ත ආහාර හිඟයක්

මේ වන විට ඔවුන් මුහුණ පා සිටින ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ උග්‍ර ආහාර හිඟයයි. මෙම සේවිකාවන්ගෙන් අති බහුතරය ඇඟලුම් කම්හල් ආපන ශාලාවලින් උදෑසන සහ දිවා ආහාර වේල ගැනීමට පුරුදු වී සිටි අය වන අතර, රාත්‍රී ආහාර වේල සපයා ගැනීම සිදුකරන්නේ නේවාසික ස්ථාන අවට පිහිටා ඇති කුඩා කඩ ආදියෙනි. ඔවුන් මාසික වේතනය ලැබුණු විට කඩේ බිල පියවන පදනම මත ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පුරුදු වී සිටින අතර, පවතින අවිනිශ්චිත තත්වය හේතුවෙන් ඊයේ දිනයේ ඔවුන්ට එසේ ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීම ද කඩහිමියන් විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

ඇඳිරි නීතිය මධ්‍යයේ ජනතාවට අවශ්‍ය ආහාර පාන හිඟයකින් තොරව ලබාගැනීම සඳහා ජංගම රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ආණ්ඩුව ඊයේ ප්‍රකාශ කළේය. මේ පිළිබඳ ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරි පවසන්නේ මෙයයි.

“ජංගම රථ දැම්මත් ළමයි අතේ සල්ලි නෑ. සල්ලි ගන්න ATM මෙෂින්වලට යන්න බැහැ….”

ඇතැම් අය සිය දරුවන් ද සමග පවුල් පිටින් කුසගින්නේ සිටින ආකාරය ද නිරීක්ෂණය කළ හැකිය. ඇතැම් සිවිල් සංවිධාන ඔවුන්ට ආහාර ලබාදීමට කටයුතු කර ඇතත්, මේ විසි දහසකට අධික පිරිසකගේ වගකීම මේ අවස්ථාවේදී ආණ්ඩුව විසින් ගත යුතුව ඇත.

එක බෝඩිමක තිහ හතළිහක් – සනීපාරක්ෂාව කැලේ

අධික තදබදයක් සහිත නාගරික ප්‍රදේශයක තාවකාලික නවාතැන්වල මේ පිරිස් ලැගුම් ගෙන සිටින්නේ එක් බෝඩිමක 30-40 දෙනෙකු සමග ය. තවද ඔවුන් සනීපාරක්ෂක පහසුකම් ලබාගන්නේ පොදු වැසිකිළිවලිනි. මේ තත්වය තුළ කොරෝනා වසංගතය පැතිර යාමේ අවදානම ද අධික ය. ආණ්ඩුව හදිසියේ ඇඳිරි නීතිය පැනවීමේ අරමුණ ජනතාව ස්වයං නිරෝධායනයට ලක් කිරීම නම්, මේ අන්දමින් විශාල පිරිසක් සිර කිරීමෙන් එම අරමුණ ඉටුවන්නේ කෙසේදැයි අපි ප්‍රශ්න කර සිටිමු. කොරෝනා වසංගත තත්වය පැතිර යාමේ අවදානම අවම කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනා මෙබඳු අවස්ථාවක මෙම පිරිස් හට ඇති වී තිබෙන අවදානම ඉතා අධික ය.

තවද මෙම කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ව ද සංකීර්ණ තත්වයක් හටගෙන ඇති බව පෙනී යයි. මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිතව ඉදිකිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතර, එම ව්‍යාපෘතියට සම්බන්ධ පිරිමි කම්කරු සේවකයන් 500 දෙනෙක් පමණ ද මෙම කලාපයේ නවාතැන් ගෙන සිටිති. මෙම කාන්තාවන්ගේ ලැගුම්හල් මිශ්‍ර බෝඩිං ලෙස පවතින අවස්ථා ද දැකගත හැකි අතර, ඒ අනුව ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් ද යම් ගැටළුකාරී තත්වයන් ඉදිරියේදී හටගැනීමට ඉඩ ඇත.

“මේක මානුෂීය අර්බුදයක්” – බිමල් රත්නායක

මෙය මානුෂීය අර්බුදයක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

“වෙන තැන්වල ජනතාව කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පොදුවේ අපහසුතාවට පත් වෙලා ඉද්දි මෙතැන ඉන්නෙ කොටු වෙච්ච පිරිසක්. මුදල්, ආහාර, ආරක්ෂාව නැති කොටසක්.”

මේ තත්වය ඇති වීමට බලපෑ, ඇඟලුම් කර්මාන්තය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කළ ජනාධිපතිවරයාගේ නියෝගය නිකුත් කළ අවස්ථාවේදීම ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබඳ ප්‍රශ්න කළ බව ද බිමල් රත්නායක මහතා පැවසීය.

“මේ ඇඟලුම් කර්මාන්තශාලාවල නිෂ්පාදන දාමයන් සකස්වෙලා තියෙන ආකාරය අනුව මීටරයක දුර පවත්වාගැනීම වගේ දේවල් ප්‍රායෝගිකව කරන්න බැහැ. සනීපාරක්ෂාව ගැනත් විශාල ගැටළුවක් තියෙනවා….

රටට කොරෝනා වසංගතය ගෙන ආ එක් ප්‍රධාන ස්ථානයක් වුණේ ගුවන් තොටුපොළයි. මේ වන විට මේ පිරිස ගුවන් තොටුපොළේ සේවය කරන කම්කරුවන් සමග එකම ස්ථානයක කොටු වී සිටිනවා. මෙය සනීපාරක්ෂාව ගැන වගේම ආරක්ෂාව ගැනත් ප්‍රශ්නයක්….”

ඔහු තවදුරටත් පවසන්නේ මෙසේ සිර වී සිටින අයගෙන් අති බහුතරය උතුරු නැගෙනහිර පළාත්වාසීන් නිසා පැය කිහිපයකට ඇඳිරි නීතිය ඉවත් කළත් මේ සේවිකාවන්ට ගම් බිම් බලා යාමට නොහැකි බව ය.

“ඒ නිසා ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේකට මැදිහත් වෙන්න ඕනෙ. ඊයෙ වෘත්තීය සමිති නායකයන් මේ ගැන සමාගම්වලට කතා කළාම ඇතැම් අය කියල තියෙනවා ඒ අයගෙ සේවකයන් ඒ කලාපයේ නැහැ කියලා. තවත් සමහර අය කියල තියෙනවා එහෙම අය ඉන්නව නම් පෙන්නන්න කියලා. තවත් සමාගම් කියල තියෙනවා තමන් 15 දෙනෙකුට විතර කෑම පැකට් බෙදුවයි කියලා….”

යැයි ද ඔහු තවදුරටත් පැවසීය.

BOI සහ කම්කරු දෙපාර්තමේන්තුව නිහඬ ඇයි?

උද්ගත ව ඇති තත්වය තුළ ආණ්ඩුවට, අපනයන සැකසුම් කලාපයේ ප්‍රධානීන්ට සහ කම්කරු දෙපාර්තමේන්තුවට මෙම විසි දහසකට අධික සේවිකාවන් පිරිස නිරුපද්‍රිතව ගම් බිම් බලා යැවීමේ වගකීමෙන් ගැළවිය නොහැක. ඔවුන් ආහාර පාන පවා නොමැතිව, සියලු මූලික අයිතිවාසිකම් අහිමි වෙමින් අසරණ වෙමින් සිටිති. කොරෝනා අධි අවදානම් කලාපයක් තුළ වසංගතය පොකුරු පිටින් පැතිරයාමේ බරපතළ අවදානමකට ද ලක්ව සිටිති.

මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ කටුනායක නිදහස් වෙළඳ කලාපය පිළිබඳ පමණක් වුවත්, බියගම ඇතුළු සෙසු නිදහස් වෙළඳ කලාපවල ද තත්වය මෙයම වීමට ඉඩ තිබේ.

මේ සේවිකාවන්ගෙන් වැඩගත්, ඔවුන් ගම්බිම් බලා යන්නේ කෙසේදැයි සොයා නොබැලූ, ඔවුන් දැන් බෝඩිං කාමරවල තෙරපෙමින් සිරවෙමින් කුසගින්නේ ජීවත් වන්නේ කෙසේදැයි නොසිතූ හාම්පුතුන්, අපනයන සැකසුම් කලාපයේ ප්‍රධානීන්, ජනාධිපතිවරයා, කම්කරු දෙපාර්තමේන්තුව සහ පොදුවේ ආණ්ඩුව මේ ගැටළුව වහාම විසඳිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button