දේශීය

පළමු රෝගියා හඳුනාගත් පසු අවශ්‍ය පියවර ගත්තා නම් මෙතරම් අවදානමක් ඇති වෙන්නෙ නෑ

- වෛද්‍ය ගිෂාන්ත දසනායක

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමර්ග ප්‍රමාද වැඩි බවත් ඒ හරහා කොරෝනා රෝගය රට පුරා පැතිරීමේ අවදානම ඉහළ ගොස් ඇති බවත් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පවසයි. ඉතාලියේ පළමු කොරෝනා රෝගියා වාර්තා වූ මොහොතේම ගතයුතු ක්‍රියාමාර්ග නොගැනීමේ ප්‍රතිපල අද භුක්ති විඳිමින් සිටින බවත් ලංකාවද අවශ්‍ය ක්‍රියමාර්ග ගතයුතුව තිබුණේ පළමු කොරෝනා රෝගියා ලෙස චීන ජාතික කාන්තාව වාර්තා වුණේ ජනවාරි මාසයේ බව ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසුවේ, මෙවැන්නකි.

“මම දැක්කා ජනාධිපති කියනවා අපි අනිත් රටවල්වලටත් කලින් කාර්ය සාධන බලකායක් පත් කරා කියලා. නමුත් අපි ඉස්සරහින් ඉන්නේ අපි ගත්ත ක්‍රියාමාර්ග නිසා නෙමෙයි. මේ මොහොතේ තියෙන කාළගුණික සහ දේශගුණික තත්ත්වය නිසා තමයි රෝග ව්‍යාප්තිය පාලනය වෙලා තියෙන්නේ. කොරෝනා වයිරසය සෙල්සියස් අංශක 30ට 27ට වැඩි උෂ්ණත්වයකදී විනාශ වෙලා යනවා.

චීන කාන්තාවගෙන් පසුව විදේශිකයන් සහ විදේශ රටවල සේවය කරපු ලාංකිකයන් හරහා කොරෝනා වයිරසය ලංකාවට ඇතුලු වෙමින් තියෙනවා. අපි පිරිසක් නිරෝධායන කටයුතු සඳහා යොමුකරන්න කලිනුත් විදේශිකයන් සහ විදේශයේ සේවය කළ ලාංකිකයන් ආවා. ඊයේ සොයාගත් රෝගියෙක් නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කරන්න කලින් පැමිණි පුද්ගලයෙක්. ඒ අනුව කලින් පැමිණි බොහෝ දෙනෙක් තුළ මේ රෝගය තිබෙන්නට පුළුවන්. ඒ වගේම නිරෝධායන ක්‍රියාවලියේ තියෙන අඩු පාඩු නිසා ඇතැම් පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරනවත් දකින්න ලැබුණා. එය වැරද්දක්. ඒ වගේම නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමේදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම වගේම දැනුවත් කිරීමත් කළ යුතුයි.

ඒ වගේම රෝහල් පද්ධතිය තුළ කොරෝනා යයි සැක රෝගීන් වෙන් කර ප්‍රතිකාර කිරීම පටන් ගත යුතු වුනත් එහෙම පටන් අරගෙන නැහැ. ඒවගේම නිවෙස් තුළ සිටින යම් කිසි කෙනෙක් සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝග ලක්ෂණ තිබෙනවානම් ඔවුන්ව නිවෙස් තුළම තබා නිරෝධායනයට ලක්කිරීමක් ආරම්භ කරලත් නැහැ. මේ රෝගය සඳහා ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමාණවත් පරිදි ආරක්‍ෂිත උපකරණ කට්ටල ලබාදීම හරි හැටි සිදුවෙන්නෙත් නැහැ. මේ සියලු ප්‍රමාදවීම් අතපසුවීම් කොරෝනා පැතිරීම සඳහා බලපෑ හැකියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button