දේශීය

වරද කරුවොත් නැතිවම, පාස්කු ප‍්‍රහාරයේ විමර්ශන ඉවරයි….

ලංකා පුවත්පත ඇසුරින්

පාස්කු ප‍්‍රහාරයේ විමර්ශන අඩපණ කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් විමර්ශන වගකීම් දැරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලූ‍ නිලධාරීන් වෙනත් අංශවලට මාරු කර යැවීමට පියවර ගෙන තිබේ. මෙම විමර්ශනවල කාන්තා කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි කොළඹ මධ්‍යම දිසාව වෙත මාරු කර ඇති අතර, කොළඹ මධ්‍යම දිසාව භාරව සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ය.

මේ ප‍්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මඟින් පොලිස්පතිවරයාට නිර්දේශ කර ඇති ඉහළ නිලධාරීන් 11 දෙනා අතර, දේශබන්දු තෙන්නකෝන් ද වේ. පොලිස්පතිවරයා එය පොලිස් කොමිසමට යවා ඇත. මීට පෙර ‘ලංකා’ පුවත් පත හෙළි කළේ පොලිස් කොමිසම ඔවුන්ට එරෙහිව පියවර ගැනීම කල් දමමින් තිබෙන බවයි. ඊට හේතු වශයෙන් කොමිසම දක්වා තිබුණේ, ජනාධිපති විමර්ශන කොමිසමක් මඟින් මීට අදාළ විමර්ශනයක් සිදු වන නිසා එය අවසන් වන තුරු තම කටයුතු නතර කළ බවයි. එහෙත්, ජනාධිපති කොමිසමක කාර්යභාරය වන්නේ ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දීම පමණක් බවත්, ඔවුන්ගේ කටයුතු විමර්ශන නිලධාරීන්ගේ කටයුතු සමග සම්බන්ධ නොවන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ අවධාරණය කරති.

මේ අතර මෙම ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ පොලිස් අධිකාරීවරයකු ළමා හා කාන්තා කාර්යාංශයට මාරු කර ඇති අතර, සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන මෙහෙයැ වූ පොලිස් අධිකාරීවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මාරු කර යවා තිබේ.

මෙම ප‍්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මීට පෙර චෝදනා එල්ල වී තිබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ද වැඩ බලන පොලිස්පතිවරයා විසින් ප‍්‍රහාරයට මුහුණ දුන් නැගෙනහිර පළාතේ ප‍්‍රධානියා ලෙස පත් කරනු ලැබීම දැඩි කතාබහට ලක් විය.


ශාලික විමලසේන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button