දේශීය

දුෂ්කර ගමක ප්‍රාථමික විදුහලක ළිඳට වස දමලා

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසලක් වන වඩුමුන්නේගෙදර ප‍්‍රාථමික විද්‍යාලයේ ළිඳට විස ද්‍රව්‍යයක් දමා තිබීම හේතුවෙන් එම ප්‍රදේශයම දැඩි ව්‍යාකූල තත්වයකට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පුළුල් පරීක්ෂණයක් පන්නල පොලීසිය විසින් අරඹා ඇති අතර, එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු මෙයට සම්බන්ධ නොමැති බවට තොරතුරු දැනගැනීමෙන් පසු පොලිස් ඇප මත මුදාහැර ඇති බවත් වාර්තා වේ.

රසපරීක්ෂක වෙත යොමුකළ, අදාල ළිඳෙහි ජල සාම්පල වාර්තාව ලැබීමෙන් පසු ළිඳට දමා ඇත්තේ කුමන විෂ ද්‍රව්‍යයක්ද යන්න පිළිබඳ තොරතුරු ලබාගැනීමට හැකි බවත් ළිඳෙහි ජලය ඉවත් කළත් නැවතත් ජලය පිරුණු පසු එම ජලයේ දුර්ගන්ධය සහ පැහැයේ වෙනස තවදුරටත් තිබෙන බව පොලීසිය පවසයි.

දැනට පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ විද්‍යාලයේ විදුහල්පති ජී.ආර්. මුණසිංහ

“පොලිසිය සහ ප‍්‍රදේශවාසීන් එකතුවෙලා ළිදේ වතුර ඉවත්කළා. නමුත් නැවත එන වතුරත් පෙරසේම දුගඳයි. වර්ණය වෙනස්. පාවිච්චියට ගන්න බහැ. දැනට දරුවන්ගේ පරිහරණයට පන්නල ප‍්‍රාදේශීය සභාවෙන් ජලය ලබාදෙනවා. නමුත් ගහකටවත් මල් පැලයකටවත් දාන්න විදිහක් නැහැ. කවුරු කෙරුවත් මේක පහත් ක‍්‍රියාවක්. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවත් අපිට දැන් බයයි. දෙමාපියන් සහ පොලිසිය නිරතුරුවම සෝදිසියෙන් සිටිනවා. මේ ක‍්‍රියාව කළ පුද්ගලයා කවරකු වුවත් ඔහුට නීතියෙන් දැඩි දඬුවම් ලබාදිය යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button