සමාජ

රෝගය තිබෙන රටක සිට එන ඔබ මේ ගැන දැනුවත් ද?

නව-කොරෝනා වයිරසය ලෝකෙ පුරා පැතිරීමත් එක්ක මුලින් චීනය වෙත යොමුවෙලා තිබුණු අවදානය අනෙක් රටවල් බොහොමයකට පැතිරිලා තිබෙනවා. ජපානය, දකුණු කොරියාව, ගිණිකොණ ආසියා කලාපයේ රටවල්, ඉරානය ඇතුලු මැදපෙරදිග කලාපය, ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් බොහොමයකට රෝගය ව්‍යාප්ත වෙලයි තියෙන්නෙ.

මූලික අවස්ථාවෙදි කොරෝනා බවට සැක කරන්න නම් රෝග ලක්ෂණ පමණක් තිබීම ප්‍රමාණවත් නැහැ. අනෙක් සුලබ ස්වසන රෝග වලදි දකින්න තියන මූලික රෝග ලක්ෂණම තමයි කොරෝනා ආසාදනයේත් මුල් අවධියෙදි පහල වෙන්නෙ. කොරෝනා බවට සැක කරන්න තිබිය යුතු අනෙක් අත්‍යාවශ්‍ය කාරණය තමා වසංගතයට නිරාවරණය වූ බවට සාධකයක් තිබීම. මේකට කියන්නෙ epidemiological link එක කියල. රෝගලක්ෂණ සහ epidemiological link එක දෙකම තිබෙන කෙනෙක් තමා අපි කොරෝනා බවට වර්තමානයේදි සැක කරලා අවශ්‍ය කටයුතු සිදු කරන්නෙ.

රෝගය වළක්වාගැනීමෙදිත් වසංගතයට නිරාවරණය වීමේ සුළු හෝ හැකියාවක් තිබෙන කෙනෙක් ඒ නිරාවරණය වුණ මොහොතේ සිට සති දෙකක වත් කාලයක් යනතුරු ප්‍රවේසම් වීම වැදගත්. එම සති දෙකක කාලය කියන්නෙ බීජෞෂණ සමය හෙවත් වයිරසය ඇඟ තුල බෝවී රෝගලක්ෂණ පෙන්වීමට ගත වන කාලය. වෙනත් වචන වලින් කිව්වොත් වයිරසයට නිරාවරණය වුණ මොහොතේ සිට සති දෙකක කාලයක් තුළ යමෙක් රෝග ලක්ෂණ පෙන්විය යුතුයි. නමුත් මේ කාලය තුල වයිරසය අනෙක් අයට බෝ වීමේ යම් අවධානමක් තිබෙනවාද නැද්ද යන කාරණය තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන්නෙ. ඉතින් ඒ නිසා ප්‍රවේසම් වීම කියන එකෙන් අදහස් කරන්නෙ ඒ කාලය තුල වයිරසය අනෙක් අයට බෝ නොකරන්න කල්පනාකාරී වෙන අතරෙ තමන්ට රෝගලක්ෂණ මතුවුණොත් හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වීමයි. නිරාවරණය වීමේ තීව්‍රතාවය අනුව ඔවුන් ප්‍රවේසම් වීමේ වැඩ පිළිවෙලද වෙනස් වෙනවා. වුහාන් වල සිට පැමිණි පිරිස සති දෙකක කාලයක් වෙනම කඳවුරක රඳවා තැබුවෙත් චීනයේ අනෙක් පැතිවලින් ආව පිරිසි නිවෙස් වලම රඳවා තැබුවෙත් ඔවුන්ගේ වයිරසයට නිරාවරණය වීමේ තීව්‍රතා වෙනස් නිසයි.

ඒ ආකාරයට බැලුවම මේ වනවිට කොරෝනා ව්‍යාප්ත වුණ ප්‍රදේශ වලින් පැමිණෙන අයත් යම් ප්‍රවේසම් වීමක් සිදු කල යුතුයි. මේ ප්‍රවේසම් වීම සඳහා වසංගත රෝග විද්‍යා ඒකකයෙන් උපදෙස් මාලාවක් දින කිහිපයකට කලින් නිකුත් කලා. ලංකාවට පැමිණ දින 14ක් යන තුරු ඒ උපදෙස් පිලිපදින ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. රෝග ලක්ෂණ නොමැති අයට සහ රෝග ලක්ෂණ ඇති අයට වශයෙන් කාණ්ඩ දෙකක් මෙහි අඩංගුයි.

මේ එහි දැක්වෙන උපදෙස් කිහිපයක්

කොරෝනා ව්‍යාප්ත වූ රටක සිට පැමිණෙන ඔබට රෝගලක්ෂණ නොමැති නම්,

  1. මහජනයා ගැවසෙන ස්ථාන වලට යෑම හැකිතාක් අඩු කරන්න. හැකි සෑම විටම නිවස තුළම රැඳී ඉන්න.

  2. නිවැරදි මුඛ ආවරණයක් පලඳින්න. එය නිසි ලෙස බැහැර කරන්න. ඔබ මුඛ ආවරණ පැලඳීම ප්‍රමාණවත්. ඔබ හෝ නිවසේ, සේවාස්ථානයේ අනෙක් අය මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවේ.

  3. නිවසේ හෝ බාහිරව සිටින වැඩි අවදානම් සහිත පිරිස් සමග කටයුතු කිරීම හැකි තාක් අවම කරන්න (රෝගී අය, මහළු අය, කුඩා දරුවන්, ගර්භනී අය).

  4. නිරන්තරයෙන් අත් සේදීම කරන්න. සබන් වැනි ද්‍රව්‍යයක් යොදා නිවැරදිව අත් සේදීම වැදගත්.

  5. හොඳින් වාතාශ්‍රය ඇතුල් වීමට දොර ජනෙල් විවෘතව තබන්න.

  6. කිවිසුම් යන විට, කහින විට ටිෂූ හෝ ලේන්සුවක් භාවිතා කරන්න. ඒවා නිසි ලෙස බැහැර කරන්න.

ඔබට රෝගලක්ෂණ මතු වුවහොත්,

  1. රෝගය අනෙක් අයට පැතිරීම වැලැක්වීමට මුඛ ආවරණ පලඳින්න.

  2. ප්‍රදේශයේ MOH, PHI, ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය (Regional Epidemiologist) දැනුවත් කරන්න.

  3. ප්‍රතිකාර සඳහා ළඟම ඇති රජයේ රෝහල වෙත යොමුවන්න.

  4. ඔබට රෝගලක්ෂණ වැලඳී ඇති විට ඔබ සමග සිටින නිවසේ හෝ සේවා ස්ථානයේ අනෙක් අයද මුඛ ආවරණ පැලඳිමෙන් රෝගය පැතිරීම වළක්වා ගත හැකියි.


වෛද්‍ය හසින්ද උදලාගම


සැලකිය යුතුයි :
වෛද්‍ය හසින්ද උදලාගමගේ අවසරයකින් තොරව වෙනත් මාධ්‍යයකට උපුටා ගැනීම තහනම් බව එම වෛද්‍යවරයා විශේෂයෙන් සඳහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button