දේශීය

මා-ඔය වනසන මහ කුණු කන්ද

“මේවා කාගේවත් වැරදි නෙමෙයි. අපේම වැරදි. අපි උන්දලව ඡන්දෙන් පත් කරලා යවනවා. උන්දලා අපේ ගමට කුණු පටවනවා”

කෝපයටපත් වැඩිහිටියෙක් තලහේන කුණු කන්ද මත සිට පවසනවා. ඔහු සිටින්නේ දැනටමත් අවකාශයට හොඳින් විවෘතව ඇති රෝහල් අපද්‍රව්‍ය ඇතුළු කුණු ගොඩක් ඇතිරූ කන්දක් මතයි. මීරිගම, ලෝලුවාගොඩ, ගිරිඋල්ලගම, ශ්‍රී ශෛලතලාරාම වාසී අතුබෝදේ ධම්මකිත්ති හාමුදුරුවොයි තවත් හාමුදුරුවරු කිහිප නමකුයි, නීතිඥවරයෙකුයි, පරිසරවේදීන්, මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුයි, මීරිගම ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රී කේ.ඩී. චමින්ද ලලිත් කුමාරයි එක්ක ගමේ උදවිය හාත්පස පැතිරුණු මහ වත්තක් මැද්දේ ගොඩගහන කුණු කන්ද ගැන තම තමන්ගේ අදහස් දක්වනවා.

මා ඔයට ඉතා ආසන්නව පිහිටි කුණු කන්ද අසලට එන්න කලින් 250ක් පමණ වූ මේ පිරිස තමන්ගේ පන්සල වුණු මුලින් කී ශෛලතලාරාමයට එකතු වුණා. හවස දෙකහමාරට විතර කට්ටි කට්ටි ඇවිත් තුනට විතර බණ මඩුව පිරෙන්න සෙනඟ ආවා. සමහරු බණ මඩුවෙන් එළියේ.

අතුබෝදේ ධම්මකිත්ති හාමුදුරුවෝ

“මම ඔයාලගෙන් සිව් පසය ලබන හාමුදුරුවෝ විදිහට ඔයාලට වෙන විනාශය නිහඬව බලා ඉන්නේ නැහැ. ඉතාමත් සාමකාමී අපේ සුන්දර ගම මැද්දට අපි කව්රුත් නොදැන කුණු ගේන්න පටන් අරගෙන. මේ තලහේන වත්ත මැද්දේ හෙට්ටිකන්දේ හිටපු සත්තු පවා දැන් ඒ කන්ද අත්හැරලා ගිහින්. මේ කුණු ගොඩට එහායින් තියෙන්නේ මා ඔය. ඒකෙන් තමයි ගිරිඋල්ලෙන් පහළ මිනිස්සුන්ට බොන්න වතුර දෙන්නේ. දැන් කාටද විශ්වාස ඒ වතුර විෂ වෙන්නේ නැහැ කියලා. අපි තවත් මේ කුණු ගැන නිහඬව හිටියොත් මතු මතුත් උපදින දරුවෝ පවා අපිට සාප කරයි ඒ දරුවන්ගේ ජීවිත වලට වස එකතු කරනකම් අපි නිහඬව උන්නා කියලා…”

බණ මඩුවේ බැංකු මත අසුන් ගෙන හුන් මිනිස්සුන්ට අතුබෝදේ ධම්මකිත්ති හාමුදුරුවෝ පැහැදිලි කරනවා.

“මේකට කිසිම විදිහකට නීතිමය අවසරයක් නැහැ. මේ ක්‍රියාව නිත්‍යානුකුල නැහැ. ඒ නිසා මේ වැඬේට එරෙහිව නීතිය පැත්තෙන් ගන්න පුළුවන් හැම සහයක්ම අපි ගමු. හැබැයි ඒ සඳහා තමුන්නාන්සේලා ගමේ මිනිස්සු විදිහට එකට ඉන්න ඕනේ. මම මගේ සහය මේ වැඬේ දිනනකම් මේ ගමට දෙනවා…”

තරුණ නීතිඥයෙකු වූ ලක්දිනු ධීරසේකර පවසන්නේ බණ මඩුවේ උන්නු අයගේ අත්පොළසන් හඬ මැද.

ගමේ උදවියගේ එකතුව කොයි තරම් වුණත් පසුගිය විසි අටවෙනිදා මේ කුණු කන්ද පළවෙනි වරට නිරීක්ෂණය කළ දවසේ රාත්‍රී එක ගම්වැසියකුගේ නිවසට ගමේම පිරිසක් පැන පහර දී තිබුණා. නිවෙස් හිමියා චන්ද්‍රපාල.

“ගිය විසි අට අපි කුණු කන්ද බලලා මේ කුණු ගේන ලොයිඞ් පෙරේරා එක්ක මේකට විරුද්ධව කතා කළා. පස්සේ මම කුඹුරෙ වැඩ කරලා රෑ ගෙදර ඇවිත් නිදා ගත්තා. පාන්දර එකට විතර මට ඇහුණා අපේ ගේ ළඟ මෝටර් බයිසිකලයක් නවත්තන සද්දේ. මම දොර ඇරලා බලද්දී එළියේ හිටියේ අපේ ගමේ අපේ ඥාති කෙනෙක්…”

මීරිගම ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රී කේ.ඩී. චමින්ද ලලිත් කුමාර පැහැදිලි කරනවා.


සිසිර යාපා
ඡායා රූප – දිමුතු වීරසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button