සමාජ

තරුණ, සාම ජනමාධ්‍යවේදීන් උදෙසා MediaCorps

ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදී සංසදය (SDJF) විසින් සාමය උදෙසා තරුණ ජනමාධ්‍යවේදීන් සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද MediaCorps සාමාජිකත්ව පුහුණු වැඩසටහන මෙම වර්ෂයේ පෙබරවාරි 6 වන දින සිට 11 වැනිදා දක්වා මීගමුව ගෝල්ඩි සැන්ඞ්ස් හෝටලයේදී පැවැත්වුනි.

විවිධ සංස්කෘතික විවිධත්වයන් සහ වාර්ගිකත්වය පිළිබඳව අන්‍යෝන්‍ය අවබෝධය ලබා ගැනීමත් එම සංස්කෘතීන්ට ගරු කිරීමටත්, මාධ්‍ය වාර්තා කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සංවේදී වාර්තාකරණයක යෙදීමටත් ගැටුම්කාරී වතාවරණයකදී ඒ පිළිබඳව සංවේදීව වාර්තාකරණයේ යෙදෙන්නටත් විශේෂයෙන්ම ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරමින් උචිත පරිදි කතාන්දර නිර්මාණය කිරීමටත් මාධ්‍යවේදීන් හට අවස්ථාව සලසා තිබුණි. තුන් වන කණ්ඩායම නියෝජනය කරමින් තරුණ ජනමාධ්‍යවේදීන් විසි දෙනෙක් (සිංහල 9 ක්, දෙමළ 4 ක් සහ මුස්ලිම් 7 ක්) වැඩසටහනට සහභාගී විය.

ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදී සංසදයේ සභාපති මහාචාර්ය පද්මසිරි වනිගසුන්දර සහ එම ආයතනයේ වැඩසටහන් කළමනාකරු සුමුදු පෙරේරාගේ සහභාගිත්වයෙන් සමාරම්භක උත්සවයත් සමඟ පුහුණු වැඩසටහන ආරම්භ විය. මහාචාර්ය වනිගසුන්දර විසින් පැමිණ සිටි සියළු දෙනා පිළිගැනීම සිදු කළ අතර ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරිනී හසරැල් ගාල්ලගේ විසින් MediaCorps සමාජිකත්ව වැඩසටහනේ ක්‍රියාවලිය විස්තර කරන ලදී. සමාරම්භක උළෙල අවසානයේදී සහභාගී වූ මාධ්‍යවේදීන් හට තම කතාන්දර නිර්මාණය කර ගැනීමට අවශ්‍ය MoJo උපකරණ කට්ටල පිරිනමන ලදී.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ උපායමාර්ගික සන්නිවේදන විශේෂඥ T.M.G. චන්ද්‍රසේකර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂක ෂාන් විජේතුංග, බකමුණෝ වෙබ් අඩවියේ දමිළ කතෘ ධාරිනි ප්‍රිසිලා, Global Press සඟරාවේ පර්යේෂක ෂිහාර් අනීස් ඇතුළු පළපුරුදු සම්පත්දායකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම පුහුණු වැඩසටහන සඳහා පහසුකම් සපයන ලදී.

මිට අමතරව දෙරණ රූපවාහිනී නාළිකාවෙි සාමාන්‍යාධිකාරී ‍K.C. සාරංග, විඩිවෙලි පුවත්පතෙහි කර්තෘ මොහොමඩ් ෆයිරූස්, MoJo පුහුණුකරු කපිල රාමනායක සහ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදී සංසද කාර්ය මණ්ඩලයේ මොහොමඩ් අස්වර් සහ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක රුවන් බෝගමුව ඇතුළු ප්‍රවීණයන්ගෙන් සමන්විත MoJo උපදේශක කණ්ඩායමක් ද මෙම අභ්‍යාසලාභීන්ට ඔවුන්ගේම කථා නිෂ්පාදනය කිරීමට හැකි වන වන තෙක් අඛණ්ඩව සහයෝගය ලබා දුන්හ.

පුහුණුවේ 4 වන දින, සාමාජිකයින්ට මීගමුව වෙරළ තීරයේ තම ක්ෂේත්‍ර උපදේශකයින් සමඟ පන්ති කාමරය තුළ ඉගැන්වූ කරුණු ප්‍රායෝගිකව භාවිත කිරීමට අවස්ථාව ලැබුණි. ඔවුන්ට කතාන්දර සොයා යෑම, ඒවායෙහි වැදගත් වන සම්මුඛ පරීක්ෂණ ක්‍රම, විවිධ වර්ගයේ කැමරා උපක්‍රම සහ වීඩියෝ අනුපිළිවෙල, තිර රචනය, ආඛ්‍යානය සහ වීඩියෝ සංස්කරණය තම කතාන්දරය සමග මුසු කිරීමට අවස්ථාව සැලසුනි. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ ධීවරයින් මුහුණ දෙන ගැටළු ඇතුළත් කථා 20 ක් ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලදී.

මෙම දිනයේ දී, අන්තර්ජාතික පර්යේෂණ හා හුවමාරු ආයතනයේ ගෝලීය වැඩසටහන් පිළිබද උප සභාපති, ඇලීෂියා ෆිලිප්ස් මැන්ඩවෙල් සහ එම ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානී, ජීන් මැකෙන්සි ඇතුළු දේශීය හා විදේශීය නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර මෙම පිරිස කතාන්දර සංස්කරණ ක්‍රියාවලිය සහ එම කතාන්දර විවරණය කිරීමේ සාකච්ඡාව නිරීක්ෂණය කිරීමටද සහභාගී වූහ.

ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදී සංසදය විසින් 2020 පෙබරවාරි වන විට තරුණ මාධ්‍යවේදීන් 112 දෙනෙකු පුහුණු කර ඇති අතර ඔවුන් විසින් සිත් ඇදගන්නාසුළු කතාන්දර 180 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත. ප්‍රජාතාන්ත්‍රික ශ්‍රී ලංකාවක් සදහා මාධ්‍ය සවිබල ගැන්වීමේ වැඩසටහනේ තවත් අංගයක් ලෙස අන්තර්ජාතික පර්යේෂණ හා හුවමාරු මණ්ඩලය (IREX) සහ අන්තර්ජාතික සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිත (USAID) ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදී සංසදය (SDJF) විසින් MediaCorps සාමාජිකත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button