විශේෂාංග

කතරගමට කුණු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රුව සහ අගමැති මහින්ද රාජපක්ෂගේ රුව ද සහිතව නව වසරේ සුවිශාලතම තෑගි තොගය එවා තිබුණේ, කතරගම ජනතාවට ය. ‘ඔබ දෙපළට රට බාරයි’ සටහනක් ද ඊට ඇතුළත් කර තිබිණි. තෑගි මලු පුරවා කතරගමට ආ ලොරිවල මුහුණතේ ‘සම්මා සම්බුදු සරණයි’ යනුවෙන් කතරගම ජනතාවට ආශීර්වාද කර තිබිණි.

ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට ම මේ තෑගි කතරගමට එවා තිබුණත්, ඒ බව කතරගම ජනතාව දැනසිටියේ නැත. තෑගි එන්නේ එක්කෝ මධ්‍යම රාත්‍රියේ ය. නැතිනම්, අලුයම් කාලයේ ය. එළිවෙන්නට මත්තෙන් කතරගම ප‍්‍රාදේශීය සභාව එසේ ආ තෑගි තොග අතුරුදන් කර තිබේ. ඉකුත් ජනවාරි 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ ‘ඔබ දෙපළට රට බාරයි’, ‘සම්මා සම්බුදු සරණයි’ ලොරිවල ආ තෑගි තොගය සෙල්ල කතරගම දී ජනතාවට අතට පත් විය. ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයාට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීහු ද පැමිණ මේ තෑගි තොගය අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගත් ටිපර් රථවල පුරවා තිබුණේ, කොළඹ සිට කතරගමට ගෙන එන ආ නොදිරන කුණුකසළ ඇතුළු අපද්‍රව්‍ය තොගයකි.

පොලිසිය අත්අඩංගුවට ගත්තේ, ටිපර් රථ දෙකක් වුවත්, මාස කිහිපයක් තිස්සේ කොළඹ කුණු කතරගමට ප‍්‍රවාහණය කිරීමේ ජාවාරම ජයටම කෙරී තිබේ. කතරගම ප‍්‍රාදේශීය සභාවට අයත් කඳසුරිඳුගම කොම්පෝස්ට් අංගනයට නුදුරු වන රක්ෂිතයේත්, සෙල්ල කතරගම, දඹේ ප‍්‍රදේශයේත්, වැඩසිටිකන්ද පාමුල රක්ෂිතයේත් දමා ඇත්තේ, කොළඹින් ගෙන ආ විෂ රසායන සහිත නොදිරන කසළ තොගය. කතරගම ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයට මේ කසළ ප‍්‍රවාහණය කර ඇත්තේත්, සභාවට අයත් කසළ අංගනවල මේවා බහාලීමට කටයුතු කර ඇත්තේත් කිසිදු සභා අනුමැතියකින් හෝ යෝජනා සම්මත කිරීමකින් තොරව ය. ඒ සියල්ලම අත යට ගනුදෙනු මත සිදු කෙරී ඇත.

කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ටිපර් රථ දෙකේ රියැදුරන් දෙදෙනාත්, රිය සහායකයකුත් පොලිස් ඇප මත මුදාහැර තිබේ. ඔවුන් තිදෙනා තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවද පොලිසිය කියයි. විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, ටිපර් රථ දෙක පානදුර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් බවයි. අදාළ කසළ තොගය හොරණ ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් බැහැර කළ ඒවා ය. කසළ තොගය පොලිස් අත්අඩංගුවට පත් වීමත් සමඟ කතරගම ප‍්‍රාදේශීය සභාවේ ජ.වි.පෙ. මන්ත්‍රී, කේ. ඩී. විමලතිස්ස, අනුර ගාල්ලෙවත්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනා සමඟ කණ්ඩායමක් කතරගම ප‍්‍රාදේශීය සභාවට අයත් කසළ අංගන පරීක්‍ෂා කිරීමට ගියහ. කසළ ජාවාරමේ යටගිය කතාව මතු වූයේ එයිනි. කතරගම ප‍්‍රාදේශීය සභාවට අයත් කඳසුරිඳුගම කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ පෙර දිනයේ ගෙන ආ නොදිරන කසළ තොගයක් ගබඩා කර තිබිණි.

කොම්පෝස්ට් නිපදවන පරිශ‍්‍රයේ කොළඹ සිට ගෙන ආ නොදිරන කසළ තොගය ගබඩා කර තබන්නට අවසර ලැබුණේ කෙසේ ද? එසේම කතරගම ප‍්‍රදේශයෙන් එකතු කරනු ලබන දිරාපත් වන කසළ බහාලීම සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති යාබද අක්කර දෙකක ඉඩමේ ද කොළඹින් ගෙන ආ කසළ තොගයක් වළ දැමීමට සූදානමින් තිබිණි. ඊට පෙර ගෙන ආ කසළ තොග විටින් විට එහි තැන්පත් කර තිබිණි. මේ සියල්ල කර තිබුණේ, කසළ බහාලීමට දී ඇති නියාමන සියල්ල ම උල්ලංඝනය කරමිනි. වැඩසිටිකන්ද රක්ෂිතයේ කොළඹ සිට ප‍්‍රවාහණය කරන ලද නොදිරන කසළ ටොන් ගණනක් වනය තුළට තල්ලු කර දමා තිබිණි. එපමණක් නොව සෙල්ලකතරගම දඹේ ප‍්‍රදේශයේ වැලි කැණීම සඳහා කපන ලද වළවල් පුරවා තිබුණේ ද කොළඹ සිට කතරගමට ප‍්‍රවාහණය කරන ලද නොදිරන විෂ රසායනික සහිත කසළ සහ අපද්‍රව්‍යවලිනි.

ඒ අනුව මාස කිහිපයක් තිස්සේ කොළඹ කසළ කතරගමට ප‍්‍රවාහණය කිරීමේ ජාවාරම සිදු කර ඇති බව පැහැදිලි විය. කඳසුරිඳුගම රක්ෂිතයට දමා තිබූ කොළඹින් ගෙන ආ කසළ වසා දැමීමට කතරගම කුණු මුසුකර තිබිණි. තවමත් ඒ ක්‍රියාව සිදු කෙරෙයි. මේ නිසා මේ නොදිරන කසළ සමඟ මුසු වූ නරක් වූ පලතුරු පොලිතින් සමඟ ආහාරයට ගැනීම නිසා ජනවාරි 24 වැනිදා අලි පැටවකු මිය ගියේ ය. පශ්චාත් මරන පරීක්ෂණයෙන් පසු පශු වෛද්‍යවරුන් කීවේ පොලිතින් සමඟ විෂ ශරීරගත වීම නිසා අලි පැටියා මිය ගොස් ඇති බව ය.

කතරගම ප‍්‍රාදේශීය සභාව වැඩසිටිකන්ද රක්ෂිතයට කුණු දමන්නේ එම ප‍්‍රාදේශීය සභාවේ එ.ජා.ප. මන්ත්‍රී, රුක්ෂාන් උඩවත්තගේ ඉල්ලීමකට අනුව බව එම ප‍්‍රාදේශීය සභා සභාපති, චානක අමල් රංගන කියයි. මන්ත්‍රීවරයාගේ බලපත‍්‍ර සහිත ඉඩමකට මෙසේ කසළ බැහැර කරන බව පැවසුවත්, කසළ බැහැර කර තිබුණේ, එකී ඉඩමට යාබද පිහිටි වැඩසිටිකන්ද රක්ෂිතයට ය. කොළඹින් ගෙන ආ නොදිරන කසළ ටොන් ගණනක් එහි බැහැර කර තිබිණි. ජනවාරි 11 වැනි දින කසළ තොග ගෙන ආ ටිපර් රථ පොලිස් අත්අඩංගුවට පත් වීමත් සමඟ වැඩසිටිකන්දේ කසළ කන්ද සම්බන්ධයෙන් සිදුකරන නිරීක්ෂණ වැළැක්වීමේ කුමන්ත‍්‍රණයක් දියත් කෙරී ඇත.

ජනවාරි 21 වැනිදා උදෑසන වැඩිහිටිකන්ද රක්‍ෂිතයේ කුණු කන්දට ගිනි තැබුවේ ඒ අනුව විය යුතු ය. පොලිතින් සහ ප්ලාස්ටික් තොගය ම ගිනි තැබීමෙන් ගින්න රක්‍ෂිතය දක්වා ම ඇවිළ ගොස් තිබිණි. දුමාරය නිසා ප‍්‍රදේශයේ වැසියන්ට එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට නොහැකි විය. මේ නිසා එදින දෙටගමුව කනිෂ්ඨ විද්‍යාලය සහ ඒ අවට පෙර පාසල් සියල්ල ම වසා දැමීමට සිදු විය. ගින්න රක්‍ෂිතයට පැතිරීම වැළැක්වීම සඳහා වතුර ලීටර් 48,000ක් යෙදූ බව සභාපති චානක අමල් රංගන කියයි. එකී කුණු කන්ද පෙබරවාරි පළමුවැනිදා අප එහි යන විටත් සම්පූර්ණයෙන් නිවී තිබුණේ නැත. කොළඹ කසළ කතරගමට ගෙන ඒමටත්, ඒවා කතරගම ප‍්‍රාදේශීය සභාවට අයත් කසළ අංගනවල බැහැර කිරීමටත් කතරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති, චානක අමල් රංගන සෘජුව ම සම්බන්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අප සමඟ පැවසී ය. ඊට සම්බන්ධ අනෙක් තැනැත්තා වන්නේ, උඩවත්ත ය.

ජනවාරි 13 වැනි දින සභාවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින්, ඔහු කියා සිටින්නේ, තමා සහ සභාපතිවරයා ඊට සම්බන්ධ බවයි. “මමයි, සභාපතියි මේ වැඩේ කරනවා කියලා මුළු කතරගම ම දන්නවා…. අපි මොකට ද බය වෙන්නේ…. තව ඕනෑනම් කියන්නම්….” සභාවේ මාධ්‍යවේදීන් සිටින බව මන්ත්‍රීවරයාට එහි දී අමතක වී තිබිණි. කිසියම් මන්ත්‍රීවරයකු ඒ බව ඔහුට පෙන්වා දීමෙන් පසු ඔහු කීවේ, “කමක් නෑ… ඕනැ නම් ඇඳුම් වුණත් ගලවලා පෙන්වන්නම්….” කියා ය. අන් කවරකට දේශපාලන විරසකකම් තිබුණත්, මේ දේශපාලන ඌරෝ ජාවාරම්වල දී සිටින්නේ එක සමීපයේ කෑම බෙදා-හදා ගනිමිනි. මේ විෂ රසායන සහිත දිරාපත් නොවන කසළ ඇළ මාර්ග ඔස්සේ මුසු වන්නේ දෙටගමුව වැවට ය. ඉන් පසුව මැණික් ගඟට ය. කතරගම වැසියන්ට පානීයට ජලය සපයන්නේ මැණික් ගෙඟ් වතුරවලිනි. දිනකට දහස් ගණනක් පැන් පහසුව සලසා ගන්නේ මැණික් ගෙඟ් වතුරවලිනි. ඊට දෙස් විදෙස් සංචාරකයන් ද ඇතුළත් ය. ඒ අනුව මේ පරිසර හානිය ඉවරයක් නොවී මුළු රටට ම බලපාන තත්ත්වයක් උද්ගත නොවේ යැයි කාට නම් කිව හැකි ද?

වගකිව යුතු අංශ සහ බලධාරීහු මේ සම්බන්ධයෙන් සොයාබලා මේ අපරාධය කළවුන්ට නීතිය ක්‍රියාත්මක කරනු වෙනුවට මේ සාහසික අපරාධය වසන් කිරීමට කටයුතු කරමින් සිටිති. කතරගම කසළ අංගන වෙත ගෙන ආ මේ විෂ රසායන සහිත නොදිරන කසළ ප‍්‍රදේශයෙන් ඉවත් කරනු වෙනුවට ජනවාරි 13 වැනිදා යෝජනාවක් සම්මත කරමින්, කියා සිටියේ, පිට පළාත්වල කසළ තව දුරටත් කතරගම කසළ අංගන වෙත ගෙන ඒම තහනම් කරන බවයි. එහෙත්, මෙතෙක් කසළ පිට ප‍්‍රදේශවලින් ගෙනාවේ ද එවැනි තත්ත්වයක් තිබිය දී ය. එබැවින්, හුදු යෝජනා සම්මුතියකින් පමණක් මේ කසළ ජාවාරම නවතී යැයි කාට නම් විශ්වාස කළ හැකි ද?

ජනතාවනි අවදිවන්න.

භාතිය ගලේවත්ත
කතරගම ප‍්‍රාදේශීය සභා මන්ත්‍රී (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

“සභාපතිතුමා නොදැන පිට පළාත්වල කුණු සභා බලප‍්‍රදේශයට එන්න විදියක් නෑ. මේ අපරාධය කළේ කවුරුන් ද කියලා සොයාබලන්න කියලා මම එතුමාට කිව්වා. මේ කුණු නැවත කතරගමින් ඉවත් කළ යුතුයි. මේක මහා පරිසර විනාශයක්. මේ අපරාධය කළ අයට නෛතික පියවර ගන්න කියලා වගකිව යුතු අංශවලින් ඉල්ලනවා.”

 

මංගල විජේනායක
පළාත් පාලන කොමසාරිස්

“මේ පිළිබඳව කිසි ම පැමිණිල්ලක් ලැබිලා නැහැ. එහෙම ලැබුණොත්, අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඇත්තට ම මම මේ ගැන දැනුවත් නෑ”

 

 

හීල්ලේ පඤ්ඤානන්ද හිමි
වැඩසිටිකන්ද විහාරාධිපති

“මේ ක්‍රියාව මම දැඩි සේ හෙළා දකිනවා. ඒ වාගේම මම මගේ දැඩි අප‍්‍රසාදය පළ කරනවා. මම ඉල්ලීමක් කරනවා, මේ අපරාධය කළ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.”

 

 

රුක්‍ෂාන් උඩවත්ත
කතරගම ප‍්‍රාදේශීය සභා මන්ත්‍රී (එ.ජා.ප.)

“මේ රටේ පොලිසිය, හමුදාව තියෙනවා. ඒ අයගේ බුද්ධි අංශවලින් ඇහුවා නම්, කියාවි කවු ද කුණු ගෙනාවේ කියලා. මම කුණු දාන්න ඉඩමක් දීලා තියෙනවා, සභාවට. සභාපතිතුමා දන්නේ නැතිව කතරගමට කුණු ගේන්න පුළුවන් ද? මේකට වග කියන්න ඕනෑ ආණ්ඩු පක්ෂය. කතරගමට කුණු ගෙනාවේ කවුද කියලා සභාපතිතුමාගෙන් අහන්න. මගෙන් අහලා වැඩක් නැහැ. මම ඕකට සම්බන්ධ නැහැ.”

 

ඩී. හෙට්ටිආරච්චි
දෙටගමුව ප‍්‍රදේශවාසී

“මේ කරපු විනාශය නිසා මෙහේ පාසල වහන්න සිද්ධ වුණා. කුණු ලොරි අල්ලා ගත්තාට පස්සේ ඒවා උසාවි දාන්න කලින් දවසේ ගිනි තිබ්බා. මේකෙන් පේනවා මෙතැන ජාවාරමක් සිද්ධ වෙනවා කියලා. කොහොම හරි ගිනි තියපු දවසේ ඉස්කෝල, පෙර පාසල් ඔක්කොම වහලා දාන්න සිදු වුණා.”

 

නාවිමන නාලක හිමි
දෙටගමුව ජයසුමනාරාම විහාරාධිපති

“මේ කුණු ජාවාරමට සභාපතිතුමයි, යූ.එන්.පී. මන්ත්‍රීතුමයි සම්බන්ධයි කියලා මට ආරංචි වෙලා තියෙනවා. මම මේක හෙළා දකිනවා විතරක් නොවෙයි, මේ අසික්කිත ක්‍රියාව කරන අය නීතිය ඉදිරියට ගේන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.”

 

 

චානක අමල් රංගන
කතරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති

“තංගල්ල ප‍්‍රාදේශීය සභාවෙන් මීට මාස හතරකට විතර උඩදී කසළ ටිපර් දෙකක් ගෙනාවා. ඒක මම ගෙනාවේ මට උසාවියෙන් කියපු නිසා. එක ලොරියකට රුපියල් 25,000.00 ගාණේ රුපියල් 50,000.00ක ආදායමක් සභාවට ලැබුණා. ඔය කසළ කන්ටේනර් දෙක අත්අඩංගුවට ගත්ත දවසේ මම කතරගම හිටියේ නැහැ. මම තමයි, ඕ.අයි.සී. මහත්තයට කිව්වේ අත්අඩංගුවට ගන්න කියලා. ඒ ලොරිවල ආපු කවුරුවත් මම අඳුනන්නේ නැහැ. මම වගකීමෙන් කියනවා, පිට ප‍්‍රදේශවල කුණු කතරගමට ගෙනාවේ නෑ. කොහේවත් එහෙම කුණු දාලත් නෑ. මම මේකට සම්බන්ධ නෑ. මේක මට විරුද්ධව ගොතාපු බොරුවක්.”

 

කේ.ඩී. විමලතිස්ස
කතරගම ප‍්‍රාදේශීය සභා ජවිපෙ මන්ත්‍රී

“මේ කසළ කතරගමට ගෙනාවේ ජනතාවගේ සනීපාරක්ෂාව බල්ලට දාලා. මේක ජාවාරමක්. එක කුණු ලොරියකින් මේ ජාවාරම්කාරයෝ රුපියල් 50,000.00ක් උපයා ගත් බව අපට දැනගන්න තියෙනවා. මම වගකිව යුතු අංශවලට මේ අපරාධය පිළිබඳව දැනුම් දීලා තියෙනවා. තාම පිළිතුරක් නෑ. ජනතාවගේ සනීපාරක්ෂාව අනතුරේ දාලා, කතරගමට ගෙන ආ කසළ නැවත රැගෙන යන තුරු අපි මේකට විරෝධය දක්වනවා. ඒ වාගේ ම මේ අපරාධය සිදු කළේ කවුරුන් ද කියලා ජනතාවට කිව යුතුයි. කොළඹ කසළ කතරගමට ගෙන ආ ජාවාරම්කාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එක අලි පැටියෙක් මැරුණා. මේ කසළ ගේන්න කලින් මෙහේ නිරපරාදේ අලි මැරුණේ නෑ. තවත් එකෙක් කුණු කාලා දිරාපත් වෙමින් ජීවත් වෙනවා. ජනතාවට අත් වෙන්නෙත් මේ ඉරණම තමයි. ඒ නිසා කතරග මට ගෙනාපු කුණු වහා ම යළි රැගෙන යන තුරු අපි ජනතාව එක්ක ඒ සටනේ ඉන්නවා.”


සටහන සහ ඡායාරූප – දයා නෙත්තසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button