සමාජ

තැපැල් පෙට්ටියක්වත් නැති මැදලන්දේ දුක අසමු

ලොග්ගල්ලා ඔය හරහා පාලමක් නොමැති වීම ඇතුළු මූලික ගැටලු රැසක් හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැදලන්ද හා ඒ අවට ගම්මාන කිහිපයක පවුල් සියයක් පමණ විවිධ ගැටලු රැසකට මුහුණ දී සිටිති. මීගහකිවුල කලුගහකදුර ප්‍රධාන මාර්ගයේ කෝමාරික මංසන්ධියෙන් ඔබ්බට විහිදී ගිය අබලන් ගුරුපාර ඔස්සේ කිලෝමීටර් දෙකක් පමණ ගමන් කළ විට මැදලන්ද ගමට ළඟා වීමට හැකිය.

මේ පිළිබඳ අදහස් දැක්වූ ගම්වාසී ඩී.එම්.ප්‍රේමදාස මහතා,

“මැදලන්ද කියන්නේ බොහොම පරණ ගමක්. ගමේ හුඟදෙනෙක් කරන්නේ ගොවිතැන. ඒ ඇරුණම කුලී වැඩ වගේ දේවල් තමා කරන්නේ. මේ ගම්වල අයට වෙන ආදායම් මාර්ගයක් නැහැ.”

ඩී.එම්.සෝමාවතී මහත්මිය අදහස් දක්වමින් පැවසූවේ මෙවැන්නකි.

“ගමේ විශාල පිරිසක් ගම මැදින් ගලා යන ලොග්ගල්ලා ඔයෙන් එහා තියෙන ඉඩම් වල වගා කටයුතු කරනවා. හැබැයි මීට වසර දහයකට විතර උඩදී ඔයෙන් එගොඩ වෙන්න තිබුණු අත්වැල් පාලම සැඩ පහරකට අහුවෙලා කැඩිලා ගියා. ඒක තාමත් හදලා නැහැ. ඒ නිසා මිනිස්සු ඔය හරහා එගොඩ වෙන්නේ කරවටක් ගිලිලා. වැස්ස වැඩි කාලෙට ඔය උතුරනවා. එතකොට එගොඩ මෙගොඩ වෙන්න බෑ. ගොවිතැන් කටයුතු ඇණ හිටිනවා. ඒ නිසා පාලම ඉක්මනට හදලා දෙනවා නම් පිං අත් වෙනවා. අපේ ගම ළඟටම වතුර බට හයි කරලා තියෙනවා. ඒත් ගමේ කොටසකට වතුර නැහැ. ජල හිඟය උග්‍රයි. හැමදේටම ලොග්ගල්ලා ඔයට යන්න ඕනෑ. නාලා වතුර කළයක් අරං ගෙදර එනකොට දාඩිය දානවා.”

ඩී.එම්.පොඩිමහත්තයා අදහස් දක්වමින්

“ගමේ සමහරු තාමත් ඉන්නේ කටුමැටි ගෙවල් වල. මිනිස්සු හම්බ කරන දේ ජීවත් වෙන්නත් මදි. අපට ජීවත්වෙන්න ස්ථිර ආදායමක් නෑ. රැකියා නැහැ. අඩුමගානේ වටපිටාවෙ තියෙන රජයේ ඉඩම් ටික හරි අපිට බෙදලා දෙනවා නම් වගාවක් හරි කරන්න පුලුවන්. අපේ ගමට තබා අහල ගම්වලටවත් තැපැල් පෙට්ටියක් නැහැ. හැමදේටම මීගහකිවුලට යන්න ඕනි. ගමට තැපල් පෙට්ටියක්, පුස්තකාලයක්, නගරයට යාමට ප්‍රවාහන පහසුකම් කිසිවක් මේ ගමට තබා අහල පහල ගම්මානවලටත් නැහැ. රට හැම තැනටම එක එක පහසුකම් දෙනවා. ඒත් මේ දුෂ්කර ගම් හැමදාම අඳුරේ. කිසිම කෙනෙකුට මේ ගම් දියුණු කරන්න උවමනාවකුත් නැහැ. අපි කිව්වත් ඒ ගැන අහන්න කෙනෙකුත් නැහැ. අඩුමතරමේ ගමට එන පාර හදල දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්.”

අඩ සියවසක් තිස්සේ ඉටු නොවුණු තම ඉල්ලීම් වත්මන් රජය යටතේ හෝ ඉටු කර දෙන්නැයි අපහසුතාවට පත් ගම්වාසීහු මෙරට නායකයින් ගෙන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button