දේශීය

“ශ්‍රී ලංකාවේ ජීවත්වන චීන ජාතිකයන්ට කරුණාව දක්වන්න”

- ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමි

ශ්‍රී ලංකාවේ ජිවත් වන සියලුම චීන ජාතිකයින් හට කරුණාවෙන් සැලකිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහානායක ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමි පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ චීන ජාතිකයින්ට අවශ්‍ය උපකාර ඇත්නම් එය ඉටුකරදීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ වගකීම බවයි.

චීනය තුළ පැතිරයන කොරෝනා වෛරස් රෝගී තත්ත්වය පැතීරිම වැලැක්විම සඳහා සහ වැළදුණු රෝගීන් සුවපත් කිරිම සඳහා චීන රජය මඟින් ඉතා සුළු කාලයක් තුළ ක්‍රියාත්මක වී ඇති බව අස්ගිරි නා හිමි පවසයි.

ශ්‍රී ලංකාවේ රජය ද රෝග ආශ්‍රිත ප්‍රදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනිම ප්‍රශංසනීය බවත් රෝගී තත්ත්වය පැතීරිම වැලැක්වීම සඳහා ද අගනා සේවයක් ඉටු කරමින් සිටින බවත් උන්වහන්සේ පෙන්වා දෙයි.

චීනයත් ශ්‍රී ලංකාවත් අතර සබඳතාවයන් පවතිනුයේ ඈත අතීතයේ සිට බැවින් මෙම බැරැරුම් අවස්ථාවේදී රෝගය පාලනය කිරිම සඳහා චීන ජාතිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරිම අප කාගේත් යුතුකම බවයි පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි පෙන්වා දෙයි.

බෞද්ධ නායකයින් වශයෙන් ආගමික වතාවත්වලින් මෙම රෝග බිය නැතිකරලීමට සෑම උත්සහයක්ම දරණ බව පෙන්වා දෙන උන්වහන්සේ පවසන්නේ විශාලා මහනුවරට මාරාන්තික රෝග බියක් ඇති වු අවස්ථාවේ දී ලොව්තුරා සම්බුදු රජාණන් වහන්සේ දේශනාකොට වදාළ රතන සූත්‍රය මේ අවස්ථාවේ දී දේශනා කරන බවයි.

අද(05) රාත්‍රී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් සිදුකොට බියෙන් පසුවන ජනතාවට සෙත් පැතීම සඳහා කටයුතු කරන බව ද පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button