දේශීය

චීනයේ සිට පැමිණෙන්නන් දියතලාවට යැව්වත් පරික්ෂාවට හෝ ප්‍රතිකාර කරන්න පහසුකම් නැහැ

චීනයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටතේ සිදු කරන්නේද යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි බව බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු දියතලාවට රැගෙන ඒමෙන් පසු රෝගී තත්වයකට පත්වුව හොත් එම රෝග පරීක්ෂා කිරීම සඳහා පහසුකම් මෙම ප‍්‍රදේශයේ ඇති විශාලතම රෝහල වන බදුල්ල පළාත් මහ රෝහලටවත් නොමැති බවත් එවැනි තත්වයක් මත නැවතත් එම රෝගියා පරීක්ෂණ කටයුතු වෙනුවෙන් නැවතත් කොළඹට රැගෙන යාමේදී ගැටළු රාශියකට මුහුණදීමට සිදුවන බවත් වෛද්‍යවරයා පවසයි.

දියතලාව යුද හමුදා කඳවුරේ හමුදා නිලධාරීන් සිටින ස්ථානයක් වුවද එම ස්ථානයේ සිටින වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය මෙවනි වසංගතයක් පැතිරීයාම නතර කිරීමට ප්‍රමාණවත් නොමැති බවත් එමෙන්ම මෙම යුද හමුදා කඳවුර අවට නිරෝගී ජනතාවක් වෙසෙන අතර මෙවනි වෛරසයක් ආසාධිත පිරිසක් රට කෙළවරේ සිට රට මැදට රැගෙනවිත් තවත් ගැටළුවක් ඇති කිරීම වැළැක්වීමට බලධාරීන් නිසි තීන්දු තීරණ ගත යුතු බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසා තිබේ.

දියතලාව හමුදා කඳවුරට යවන චීනයේ සිට පැමිණි සිසුන් සහ අනෙකුත් ජනතාව එහි කාමරවල වෙන් වෙන්ව රඳවා තබාගෙන පරීක්ෂාවන්ට ලක්කරන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවසීය. එසේම එම මාධ්‍ය හමුවේදී කියවුනේ නව කොරෝනා වෛරසය ආසාධිතයින් බවට සැකකරන්නන් රැඳවීමට තව රෝහල් 11ක් නම් කර ඇති බවයි. එම රෝහල් අතරට බදුල්ල පළාත් මහ රෝහලත් ඇතුලත් වේ. නමුත් ඉහත වෛද්‍යවරයා පවසන ආකාරයට දියතලාව හමුදා කඳවුරේ මෙන්ම බදුල්ල මහ රෝහලේත් කොරෝනා වෛරසය පරික්ෂා කිරීමට හෝ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button