දේශපාලන

“මේ ආණ්ඩුව බෞද්ධයන්ට සලකන්නේ නෑ”

වත්මන් ආණ්ඩුවත් බෞද්ධයන්ගේ ප්‍රශ්න විසඳන බවක් පෙනෙන්නට නැතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසුවේය.

ඒ ඊයේ (14දා) රාජගිරියේ දී පැවැති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.

එහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෙසේද පැවැසුවේය.

“ජාතියේ චීවර පූජාව පෙබරවාරි 22 වැනිදා රුවන්වැලිසෑය අබියසදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සිවුරු හැට දහසක් පූජා කරලා එම පින්කම සිදු කරනවා. එය 2018 දී සිදුකරන්න හිටියත් මිථ්‍යාදෘෂ්ටික පාලකයන් ඒකට ඉඩදුන්නේ නැහැ. මේ රට වෙළාගෙන තිබෙන සංස්කෘතික ආක්‍රමණ පිළිබඳ අපි අවුරුදු විස්සක් තිස්සේ හඬ නඟලා කිව්වා. සදාචාර විරෝධී සහ නීති විරෝධීව සිදුකරන ආගමික ආතතිය පාලනය කරන්න නීති ගේන්න කිව්වා. භික්ෂුන් 9 දෙනෙක් පාර්ලිමේන්තුවටත් යැව්වා. ඒත් ඒක සම්පූර්ණ කරගන්න බැරි වුණා.

මන්ත්‍රිවරුන්ගෙ හඬපට අහන විට සූක්ෂ්ම ලෙස මොළ සෝදන, ධර්මය ගැන ශාස්තෘන් ගැන ඇති ශ්‍රද්ධාව නැති කරවන සූක්ෂ්ම වැඩපිළිවෙළක් මේ රට තුළ සිදුවෙනවද කියන කාරණය ඔප්පු වෙමින් පවතිනවා. මේවා අහඹු ලෙස සිදුවන දේවල් නොවෙයි. බුද්ධාගමට තිබෙන ප්‍රමුඛතා ඕන නැහැ කියමින් මේ රට අන්‍යාගමික රාජ්‍යයක් බවට පත්කරන්න උත්සාහ ගත්තා.

චීවර පූජාව තුළ අපි සාකච්ඡා කරන්නෙ මේ රටේ බෞද්ධයන්, භික්ෂුන් වහන්සේ මුහුණ දී සිටින අභියෝග ගැන. ආණ්ඩුව කුමන කයිවාරුවක් ගැහුවත් බෞද්ධයන්ගේ ප්‍රශ්න විසඳන බවක් පේන්න නැහැ. ඒවා විසඳගන්නෙ වෙන්නේ අපිටමයි.

සාතිශය බහුතර සිංහලයන් විසින් නායකයකු පත් කරගත්තත් ඉස්ලාමීය බලවේග සූක්ෂ්ම වී තිබෙනවා. මේ රට භීතියට පත් කරමින් ඉස්ලාමීය උන්මත්තක බලවේග දේශපාලන බලය රහිතව වුවත් එය අදාළ තැන්වල ස්ථානගත කරමින් සිටිනවා. දේශ වාත්සල්‍යයෙන් වැඩ කරපු විශාල පිරිසක් ඉන්නවා. මේ මඩ දේශපාලනය අතරේ දියවෙන්න ඔවුන් යන්නෙ නැහැ. මේ පාරත් වැරදුණාද කියලා ඔවුන් විමසනවා. ඒ නිසා කාටවත් ඕන ඕන හැටියට නටන්න අපි ඉඩ තියන්නෙ නැහැ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මද්‍රසා සම්බන්ධව කථානායකගෙ මූලිකත්වයෙන් කමිටුවක් පත්කර තිබුණා. මද්‍රසා කියන එක පළමුව විග්‍රහ කරගන්න ඕන. ඉස්ලාම් ධර්මයට මුවා වෙලා හොර රහසේ වැඩෙන මූලධර්මවාදයන් ගැන පුළුල් සංවාදයක් අවශ්‍යයි. ධම්මපදය දන්නෙ නැති මැති ඇමැතිවරු මද්‍රසා ගැන දන්නෙ නැහැ.

සාම්ප්‍රදායික මද්‍රසා පාසල් වෙනුවට මරාගෙන මැරෙන පන්නයේ මතවාද සහිත නායකයන් අතට දැන් උලමා සභාව පත් වෙලා.

ඒ නිසා අගමැතිවරයාටත්, ජනාධිපතිවරයාටත් කියනවා ගොඩනඟා ගත් ජාතිකවාදී වැඩපිළිවෙළ දේශපාලන බල වුවමනාවට පාවිච්චි කරලා නාස්ති වෙන්න එපා කියලා. මරාගෙන මැරෙන අදහස් ඇති අය ඉබේ බිහිවෙන්නෙ නැහැ.

මද්‍රසා බරපතළ ප්‍රශ්නයක්. ඒවා පනත් ගෙනත් සම්මත කරන්න නොවෙයි අවශ්‍ය. මේවා තහනම් කරන්නයි ඕන.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව දේශපාලනඥයෝ රැසකගේ නම් හෙළි වුණා. ඒත් අද වනතුරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමක්වත් නැහැ.

වහබ්වාදය මේ අන්තවාදයේ එක කොටසක් විතරයි. තව තියෙනවා සලතිවාදය කියලා. බහු විවාහ බලගැන්වීමයි ඔවුන් කරන්නෙ. ගර්භාශයේ න්‍යාය තමයි ඔවුන් සමාජගත කරන්නෙ.

ආණ්ඩුවේ වගකීම මුස්ලිම්වරුන් එක තැනකට කැඳවලා මේ දේවල් ප්‍රශ්න කරන්න වැඩපිළිවෙළක් හදන්න ඕන.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button