විශේෂාංග

යුක්රේන ගුවන් යානයෙන් අවසන් ගමන් ගිය දේවදූතිය

ගුවන් අනතුරක් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඛේදවාචකයක්. වටිනා මිනිස් ජීවිත ගණනාවක් වගේම වටිනා ගුවන් යානාවක්ද ක්ෂණයෙන් විනාශ වී යන්නේ හිතාගන්නවත් බැරි විදිහට. වැඩි විස්තර දැනගන්නට ලැබුනේ නැති වුනත් පසුගියදා ඉරානයේදී අනතුරට පත්වූ යුක්රේන ගුවන් අනතුරත් ඒ වගේම දුක්බරිත කතන්දර හුඟක් ඉතිරිකරපු ඛේදවාචකයක්.

ඉරාන ජාතික කාන්තාවක් වූ ෂේදා ශද්කූ, හසාන් ශද්කූගේ බිරිඳයි. කැනඩාවේ ටොරොන්ටෝ හි පදිංචිව සිටින ඔවුන් විවාහ වී වසර දහයක්. දීර්ඝ කාලයක් නිවසෙන් ඈත්වී සිටි ඇය පසුගිය දෙසැම්බරයේ ඉරානයේ ටෙහෙරානය බලා එන්නේ තම මව බැලීමටයි. තමන්ගේ ආදරණීය මවත් සමග සති තුනක දීර්ඝ නිවාඩුවක් ගෙවා දමා ඇය නැවත කැනඩාව බලා යාමට ගුවන් තොටුපළට පැමිණෙන්නේ ඇමරිකාව විසින් ඉරානයේ හමුදා ප්‍රධානිය මරාදමා මුළු ඉරානයම කැළඹී ඇති මොහොතකයි. ඇය යානයට ගොඩවී ඇගේ සැමියාට ඇමතුමක් ලබා ගත්තා.

“ඇය මට ගුවන් යානයට ගොඩවී ගුවන් ගත කරන්න විනාඩි 20කට කලින් කතා කරා. සිදුවී තිබූ සිදුවීම් නිසා ඇගේ සිත බොහෝ කලබල වෙලා තිබුනේ. ඇමරිකානු ප්‍රහාරය නිස ඇය ගොඩක් බය වෙලා හිටියේ. මම ඇයට කිවුවා ඔයා බයවෙන්න එපා යුද්ධයක් ඇතිවෙන්නේ නෑ ඔයා පරිස්සමට එන්න කියලා. එයා මට කිවුවා ගුවන් යානය දැන් ගුවන් ගත කරන්න යන්නේ ඒක නිසා ඇමතුම විසන්ධි කරන්න වෙනවා කියලා”

ඇමතුමින් පසු ගුවන් යානය යුක්රේනයේ කිවු වෙත යාමට ගුවන් ගතවූ අතර ගුවන් ගතවී මිනිත්තු දෙකක කාලයකින් පසුව යානය ටෙහෙරානයේ කිසියම් ප්‍රෙද්ශයකට කඩා වැටුනා.

යානය ප්‍රහාරයකට ලක්ව තිබූ බව පසුව සොයාගත් තොරතුරු වලින් සාධනය වී තිබුනා. කෙසේ වෙතත් යානය ගුවන් ගත කිරීමට පෙර ඇය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පින්තූරයක් පළ කොට තිබුනේ දුක්බර වදන් කිහිපයක්ද සමගයි.

“දැන් මම පිටවී යනවා, ඒත් මාගේ රටේ මිනිසුන් ගැන මට දුකයි. මගේ රටේ මිනිසුන් ගැන මට බයයි”

ඒ ඇගේ අවසාන වදන් කිහිපයයි.

සියලු කාරණ අවසානයේ ඇගේ සැමියා කඳුලු පිරි දෙනෙතින් තම හඬ අවදි කළා.

“ඇය දේවදූතියක් ! මට ඇයත් එක්ක එහි යන්න බැරිවුන එක ගැන හුඟක් දුකයි. එහෙනම් අපි දෙන්නාටම එකටම මැරෙන්න තිබුනා. මට ඒ ගැන තියෙන්නේ ලොකු කණගාටුවක්. මං එයාට ගොඩක් ආදරෙයි, මට එයා නැතුව ඉන්න බැරිවෙයි”

■ පසුගිය 08 වනදා ටෙහෙරානයේදී කඩා වැටුණු යුක්රේනයට අයත් බෝයිං 737 යානාව මිසයිල ප්‍රහාරයකට ලක්ව තිබූ බව දැනට සාධක ලැබී තිබෙනවා. යානාව සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි ගමන් කරමින් සිටි සියලුම දෙනා(176) මරමුවට පත්වුනා.

■ පින්තූරය – හසාන් ශද්කු මියගිය ෂේදාගේ අවසන් ඡායාරුව මාධ්‍යට පෙන්වූ අවස්ථාව


හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button