දේශීය

මීගමුව කලපුවේ විනාශය

මීගමු කලපුව යනු විවිධ ශාඛයන්ට සහ ජලජ ජීවීන්ට හොඳින් වැඩෙන්නට ඉඩකඩ ඇති ස්වභාවික කලපුවකි. මේ අනුව කලපු ධීවරයා සහ කලපුව ගසට පොත්ත මෙන්ය. මන්ද බහුතරයක් ධීවරයින්ගේ යැපීම සිදුවන්නේ මෙහි වැඩෙන විවිධ මාළුන්, ඉස්සන්, කකුළුවන් මත වන නිසාය. මේ නිසා සෑම ධීවරයෙකුම තමන්ගේ එදිනෙදා ජීවිතය පවත්වා ගැනීම උදෙසා කලපුව කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලදී. මෙසේ කලපුව මත විශ්වාසය තබා ජීවිතය පවත්වාගෙන යන එක් ධීවරයෙකු පිටිපන ප්‍රදේශයේදී හමුවිය. ඔහු නමින් ජෝෂප් පීටර්ය. මෙහිදී අප ඔහු හා කථාබහක නියැලීමට අදහස් කළේ කලපුව සහ කලපු ධීවරයා සම්බන්ධව යම් අදහසක් බෙදාගැනීමේ අටියෙනි.

කලපු රස්සාව ගැන ඔබේ අත්දැකීම් කොහොමද?

මම මේ කලපු රස්සාව කරන්නෙ අවුරුදු 15 ඉඳල. දැන් මගෙ වයස අවුරුදු 60ක් විතර වෙනව. අවුරුදු 45ක් ම කලපුව එක්ක තමයි ගෙවුනෙ. විසිදැල් රස්සාව, බිලීබෑම, කට්ටුදැල් රස්සාව, යන විවිධ රස්සාවල් මම කරල තියෙනව. අවුරුදු 4කට 5කට ඉස්සෙල්ල කලපුව කියන්නෙ සුන්දර තැනක්. අපි පොඩිකාලෙ මේ සුන්දර කම වගේම ජීවිතෙත් සුන්දරව ගෙවිල ගියා. ඉස්කෝලෙ යන දරුවො පොතක් පෑනක් ගන්න ඕනෙ උනහම කලපුවට ගිහිල්ල ඉස්සො හරි කකුළුවො හරි ටිකක් අල්ලගෙන තමන්ගෙ උවමනාව ඉස්ඨ කරගන්නව. ඒ දවස්වල ඕනෙම කෙනෙකුට ගිහිල්ල හොද්දට මාළු ටිකක් ඉස්සො ටිකක් අල්ලගන්න පුළුවන්. තහනම් කරන්න කව්රුත් හිටියෙ නෑ.

කලපුවෙ මොනවගේ මාළුද ඉන්නෙ? මොනවගේ තැන්වලද වැඩියෙන් මාළු ඉන්නෙ?

ඉස්ස, කකුළුවට අමතරව වේක්කය, ගොඩය, කොරලිය. පරව, තඹලය, කොස්ස, කලංද, පිරලිය, ඕරාව, අරමොල්ල, ඉලත්ති, අඟුළුවා, එරියල්ල ආදී විවිධ වර්ගයේ මාළු කලපුවේ ඉන්නව. වඩදිය, බාදිය අනුව තමයි මාළු හැසිරෙන්නෙ. පිටිපන ප්‍රදේශයේ කුඩා ගඟ, එරෙනවල, කඩොල්වල, මහලඹ යන ස්ථානවල වැඩියෙන් මාළු ගැවසෙනව. දැන් මේ තැන්වලත් මාළු බෝවීමක් නෑ.

අද ඇයි මාළු බෝවෙන්නෙ නැත්තෙ?

ඉස්සර මාළු අල්ලන්න තරඟයක් තිබුනෙ නෑ. මම ඉස්සෙල්ල කියපු තැන්වල අද අල්ලන්න මාළු නෑ. ඒව මුඩුබිම් බවට පත්වෙල. ඉස්සන්ගෙ කකුළුවන්ගෙ බීජ මුහුදෙ ඉඳල කලපුවට එන්නෙ වඩදිය නිසා. ඒව කලපුවේ ඒඒ තැන්වල රැඳිල තමයි බෝවීම සිද්ධ වෙන්නෙ. අද කලපුවට වැටෙන අපද්‍රව්‍ය නිසා මේ බීජ විනාශ වෙනව. ඉස්සර ඔනෙ වෙලාවක ඇමට ඉස්සන් ටිකක් අල්ලගන්න රස්සාවට යන අයටම පුළුවන්. දැන් රු. 3000/ ක් 4000 ක් විතර වියදමක් යනව. දැන් පණ ඉස්සව කලපුවෙ පැය කාලකට වඩා තියාගන්න බෑ මැරෙනව. එහෙම වෙන්නෙ වතුර විෂ නිසානෙ. අද විශේෂයෙන්ම කරවල වාඩි දාගෙන ඉන්නෙත් කලින් කිව්ව මාළු බෝවෙන තැන්වලයි. මේ වාඩිවලින් පිටකරන අපද්‍රව්‍ය විශාල තොගයක් නිසා කලපුව වෙනස් වෙලා.

අතීතයෙ කරවල කරේ නැද්ද?

ඒකාලෙ කරවල කිරීම ගැන ප්‍රශ්ණයක් මතු වුනේ නෑ. මීගමු ප්‍රදේශයේ මාළු වලින් විතරයි කරවල කරේ. අද එහෙමෙ නෙවෙයි . පිටරටින් මාළු ගේනවා. මේ අතර නරක් වෙච්ච මාළුත් ඉන්නවා. සියළු අපද්‍රව්‍ය කලපුවට මුදා හරිනවා. මේනිසා මතුවෙච්ච ප්‍රශ්ණය දැන් වැඩි දියුණු වෙල තියෙන්නෙ. ඳුඟඳ ඉවසන්න බෑ. සමහරු ඉඩම් පවා අතහැරල ගිහිල්ල. ඒවිතරක් නොවෙයි කලපු රස්සාව කරපු ධීවරයා වෙන විකල්ප රස්සාවල් හොයන්න පටන් අරගෙන . මම අද කලපු රස්සාව අතහැරල ඉඳිආප්ප ටිකක් කඩේට විකුණල තමයි ජීවත්වෙන්නෙ. තව සමහරු බෝට්ටු මුර කිරීම, මේසන් වැඩ, වඩුවැඩ වගේම කරවල වාඩිවල වැඩට පවා යනව.

කරවල වාඩි සම්බන්ධ ප්‍රශ්ණෙදි ඔහුගේ සටන කරවල කරවන අයට විරුද්ධව නොවෙයි . ඒක කරන ආකාරය ගැනයි ඔහු ප්‍රශ්ණ කරන්නෙ. නමුත් මේ ගැන වගකිවයුතු අයගේ අවධානය නිසිලෙස නොලැබුනොත් දැනට පවතින තත්වයද තවදුරටත් විනාශ වන බව ඔහුගෙ අදහසයි.

මෙවැනි තත්වයක් යටතේ ඉදිරියේදි මොනවද කරන්නෙ?

අපි ඒකාලෙ ඉඳලම මේ වෙනුවෙන් සටන් කළා. පියතුමන්ලා සම්බන්ධ කරගෙන කලපුව අපේ අම්මාය යන අදහස සටන් පාඨයකට යොදාගෙන වැඩ කොටසක් කළා. මේ වෙනකොටත් ඒ සටනෙම තමයි ඉන්නෙ. ඒ වුනත් උත්තරයක් නෑ. නමුත් මේ කලපුව නැවත හදන්න පුළුවන්. වඩදිය, බාදියට මුහුදෙ ඉඳල එන බීජ පාසි අතර රැඳිල ඒ මගින් තවමත් මාළු බෝවෙනව. ඒකියන්නෙ කලපුව නැවත හදන්න පුළුවන් කියන එකයි. ඒකට සියළු දෙනාම එකතුවිය යුතුයි. කලපුවේ ඇති සම්පත් පිළිබඳව ඔහු දැඩි විශ්වාසයක් තබා කටයුතු කරන සැබෑ ධීවරයෙක් . අවස්ථා ගනනාවකදී කළ කථාබහ තුළ ඔහුගේ තර්කය වූයේ ඉස්සන්, කකුළුවන්, මතස්‍ය වර්ග තවමත් මේ කලපුවේ ඕනෑ තරම් බෝවෙන නමුත් කලපුවේ පවතින විෂ ගතිය නිසා මේ සියළු මතස්‍ය වර්ග මැරෙන බවයි. මේ අනුව මෙය සනාථකර පෙන්වීම සඳහා ඔහුගේ නිවස අසල කලපුවේ තැනකින් භාජනයකට ගත් කලපු ජලය ප්‍රමාණයක සිටින ඉස්සන් සහ කුඩා මාළු පැටව් අපට පෙන්වා සිටී. මෙහිදී එම භාජනයේ සිටින ඉස්සන් සහ කුඩා මාළු පැටව් හොඳින් දැකගතහැකි විය. නමුත් මෙහිදී විශේෂයෙන් මතුවී පෙනුනේ එහි සිටි ජීවීන්ට වඩා කලපුව රැකගතයුතුය යන ඔහුගේ අහිංසක හැඟීමයි

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close