දේශපාලන

මහින්ද ඩීල්කාරයෙක් කියලා කිව්වේ හදාගන්න ඕන නිසා

මාගල්කන්දේ සුදත්ත

මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බවට පසුගිය දිනෙක තමන් වහන්සේ ප්‍රකාශ කළේ රාජපක්ෂ මහතාගේ වැරදි නිවැරදි කර හරි පීල්ලට ගැනීමට බව සිංහල රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමියෝ ඊයේ (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

ජනාධිපතිවරණ සමයේ පැවති ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට චෝදනා ලබා සිටින රාජිත සේනාරත්නට ඇප හිමිවීම පසුපස අගමැති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධයක් ඇති බවට සුදත්ත හිමියෝ පවසා තිබුණි.

වත්මන් ආණ්ඩුව යටතේද අපරාධකරුවන් ආරක්ෂා කිරීම, අපරාධකරුවන් සමග ඩීල් දැමීම ක්‍රියාත්මක වන අතර මෙවන් තත්ත්වයක් තුළ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබාදුන් ජනතාව පැතූ ‘එක රටක් එක නීතියක්’ සංකල්පය යථාර්ථයක් බවට පත්කළ නොහැකි බව එහිමි එදින මාධ්‍ය හමුවේදී කියා සිටියහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුට සුපුරුදු ඩීල් දේශපාලනය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, මේ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැතිවරයා ඇතුළු ඩීල් දේශපාලනඥයන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ වගකීම ජනාධිපතිවරයා පත්කර ගත් ජනතාවට පැවරෙන බවත් සුදත්ත හිමියෝ සඳහන් කළහ.

ඒ අනුව තවදුරටත් ඩීල් දේශපාලනයේ නිරත නොවී, රටට ආදරේ කරන පුද්ගලයන්ට රට ගොඩනැගීමට අවස්ථාව ලබා දී දේශපාලනයෙන් සමුගන්නා ලෙස එහිමි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටියහ.

කෙසේවෙතත් අද දවස වන විට මහින්ද රජපක්ෂ සම්බන්ධයෙන් තමන් වෙත ලැබුණු තොරතුරුවල සත්‍යතාවක් නොමැති අතර රාජිත සේනාරත්නට ඇප ලබා දීම පිටුපස මහින්ද රාජපක්ෂගේ සම්බන්ධයක් නොමැති බවයි එහිමි වැඩිදුරටත් පවසන්නේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ ආයතන සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් පවතින බවත් සුදත්ත හිමි කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ යනු සංවර්ධනයේ නියමුවෙක් වන අතර ප්‍රතාපවත් නායකයෙකු බවද මාගල්කන්දේ සුදත්ත හිමියෝ අද වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button