දේශීය

‘රැස’ ප්‍රධාන කතෘ රංජිත් ඉල්ලා අස්වෙයි

මෙරට පුවත්පත් කලාවේ නැවුම් වෙනසක් කළ මෑත කාලීන වඩාත් කතාබහට ලක්වූ ‘රැස‘ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ රංජිත් කුමාර සමරකෝන් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඉල්ලා අස්වන විට රැස කර්තෘවරයා මෙන්ම ලේක්හවුස් ආහතනයේ ස්තීර සේවකයෙකු ලෙසද හෙතෙම කටයුතු කරමින් සිටියේය.

2018 ජනවාරි මස 11 වෙනිදා නිකුත් වූ රැස පුවත්පතේ සමාරම්භක කර්තෘවරයා වූයේ චාමර ලක්ෂාන් කුමාර ය. ඔහු හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර ඉන් පසු රැස නියමුවා වූයේ රංජිත් කුමාර සමරකෝන්ය. ඉකුත් අරුබුධකාරී දින 52 තුල ඔහු සිය මාධ්‍ය භාවිතය රැස අරමුණු වලට අනුගතව ඉතා උපක්‍රමශීලීව සිදු කළේය.

යල් පැනගිය මිථ්‍යා විශ්වාස, අපරාධ හා ඕපාදූප ප්‍රාසාංගීකරණය කරමින් පාඨකයා රැවටීම හා ඇන්දවීම වෙනුවට ඔවුන් සමග හරවත් බුද්ධිමය සංවාදයක නිරත වීම අරමුණු කරගෙන ආරම්භ කළ රැස පුවත්පත පසුගිය වකවානුවේ ආන්දෝලනාත්මක වාර්තාකරණයක නිරත වූ පුවත්පතකි.

සිය ඉල්ලා අස්වීම පිළිබඳව රැස කතුවරයා ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහන් තබා ඇත.

ඉල්ලා අස්වීම

මීට දෙවසරකට පෙරාතුව ‘රැස’ට එක්ව, වසර එකහමාරකට වැඩි කාලයක් එහි ප්‍රධාන කර්තෘවරයාව කටයුතු කළ මම තනතුරින්ද, ලේක් හවුස් ආයතනයෙහි ස්ථීර සේවයෙන්ද ඉල්ලා අස්වීමට තීරණය කළෙමි.

එය හෘද සාක්ෂියට එකගව තිර අදිටනින් ගත් තීන්දුවක් බවද සදහන් කරමි.

රැස ආරම්භ කළදා සිට මේ දක්වාම එකදු අකුරකින් හෝ ජාතිවාදයට, ආගම්වාදයට හෝ මිත්‍යාවට ඉඩ දුන්නේ නැත. උදාර පරමාර්ථ ඇතිව ‘රැස’ ගොඩනැගීමට ගත් සාමූහික ප්‍රයත්නයට මමද නොපැකිල දායක වීමි.

එය මට උදේ අට පහ රස්සාවක් නොවූ විසිහතර පැයේ වගකීමක් වූ බව කවුරු නොදනිතත් රැස පවුල දනී.

අපව ඉතා අනුකම්පා විරහිතව විවේචනය කරන්නන් පවා රැස ‘රට ගිනි නොතියූ බව’ දනී.

ජාතිවාදයේ, ආගම්වාදයේ කුණු, රැසෙහි නොවූ අතර කාලයා විසින් ඊට අනන්‍ය ඇගයිම සහතික කරනු ඇත.

කලකට පෙර දිගන ආශ්‍රිත ජාතිවාදී ගිනිදැල් හට ගනිද්දී අපි එගිනි නිවන රටාව රැසෙන් කියා පෑවෙමු.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව යම් යම් මාධ්‍ය ජාතිවාදය කුනුරසට විකුණන විට අපි මානවවාදය සමාජයට එන්නත් කළෙමු.
කෙටි කලට අපි බොහෝ දේ කළෙමු.

මා විශ්වාස කළ දේශපාලනයක් තිබුණේ වී නමුදු, කිසිලකවත් එකී දේශපාලන මඩ ගොහොරුවට රැස ඇද නොබාන්නට මම පරිස්සම් වුණෙමි.
ඊට මගේ කර්තෘ මණ්ඩලයෙන් සහ කාර්‍යමණ්ඩලයෙන් ලද පිටුබලය සෙනෙහසින් සිහි කරම්.

මට සිහිනයක් තිබුණි.

ඒ පත්තරකාරයෙක් වීමේ සිහිනයයි.ඒ උදෙසා අප්‍රමාණ කැපකිරීම් කළෙමි.දස වසරට සියවසරක වැඩ කළෙමි. මගේ ජීවිතයේ මෑත වසර හය හෝ හත තුල දෙපැයක් ඉක්මවා නිදාගත් දවසක් නැත.

කෙලවරක් නැති වෙහෙස පත්තරය තුලම දිය කළෙමි.එසේ වුව එය අතිමහත් තෘප්තියක් ගෙන ආවේය.

ඉතිං, දෙවසරක් ඉක්මවා මා රැසෙහි සේවය කළ අතර සහතිකවම කිව යුත්තක් තිබේ.

ඒ එක්තරා ‘කලු පාට දින 52ක’ හැර කිසිදු විටෙක මවෙත දේශපාලනික බලපෑම් නොපැමිණි බවය.

දින 52 පිළිබදව පවතින පිලිකුල් සහගත මතකය තාමත් ඔක්කාරය ගෙනෙන අපුල දනවන එකකි.

ඔවුහූ රැස පරිශ්‍රය මුදා නොගත් කලාපයක් සේ සැලකූහ.අපගේ පරිගනක තිර අසල සිටගෙන අපට නියෝග නිකුත් කළහ.

එහෙත්, අප එකදු කතුවැකියකින් හෝ එකී නාඩගම අනුමත නොකරන්නට තරම් අදීන වීමු.

ඒ දින 52තුල අප අනන්ත අප්‍රමාණ පීඩාවන්ට ලක් විය.

අපව පීඩාවට පත්වන ඒ කිසිම විටෙක කිසිම මාධ්‍ය සංවිධානයක් අප පිළිබදව කිසිදු සෙවිල්ලක් හෝ විමසිල්ලක් කළේ නැත.

ඒ එසේ තිබුණාවේ…!

සමාජයට කුණු බෙදා නොහරින, මානවවාදය ගරු කරන,ආචාර ධර්ම රකින පුවත්පතක ප්‍රධාන කර්තෘවරයාව ‘ජනප්‍රිය නොවන’ එහෙත් අප්‍රමාණ වෙහෙසකර හා ආයාසකර ගමනක් මම පැමිණියෙමි. බොහෝ දෙනාට’රැස ලේක් හවුස්’පත්තරයක්ද කියා විශ්වාස කළ නොහැකි තරමට අපි රැස කිසියම් ආස්ථානයක තැබීමු.

අනේකවිද අභියෝග මැද රැස සුරක්ෂිතව ගොඩනගන්නට අපි කටයුතු කළෙමු.අතිශය දයාබර කණ්ඩායමක් අපට සිටි අතර සාමූහික ප්‍රයත්නයකට කදිම උදාහරණය ‘රැස’ විය.

අත් හැර දැමීම කෙතරම් පහසු වුවද ‘රැස පවුල’ කෙරෙහි වන බැදීම නොබිදෙන යදමකි.

මාගේ ඉල්ලා අස්වීම හිතුවක්කාර එකකැයි කෙනෙකුට හිතෙන්නට පුලුවන් අතර, ඒ පිලිබදව හදවතින් තැවෙන්නන්ද සිටිය හැක.සාමූහිකත්වයෙන් පලා යාමක් සේ කිසිවෙක් මෙය දකින්නේනම් ඊටද අයිතිය තිබේ.

නිලතල හෝ තනතුරු කිසිසේත්ම තදින් අල්ලා නොගන්නා මම රැස කර්තෘ පුටුවේ වාඩි වුනේම පා පොලවේ පිහිටන ලෙස පුටුව ‘එජස්’ කරගෙනය.

ඉතිං,ඉන් බැසයාම අපහසු නැත. මම ඒ හැටි පුරසාරම් සහිත මාධ්‍යවේදියෙක් නොවේ. මින් මත්තට කුමක් කරනවාද කියා තවමත් කිසියම්ම නිනව්වක් හෝ නැත.එහෙත් හෘද සාක්ෂිය සුරක්ෂිත කළයුතුය.

අවසානයේ දී කිවයුත්තන් තිබේ. රැස තවත් එක් පුවත්පතක් නොවේ. එය අදටත් වඩා හෙටට අත්‍යවශ්‍ය ය. රැසෙහි සිටින්නේ ආදරණීය මිනිසුන් ය.ඔවුන් සියලුදෙනා වෙන වෙනම ඇගයිය හැකි දක්ෂතා වලින් යුක්ත අය ය.

කිසිවෙක් මා සතු බොහෝ දෑ ඉල්ලා ගැනීමේ හිලවුව්ට යමක් පෙරළා ඉල්ලන්න යැයි මට කීවොත් මා ඉල්ලා සිටින්නේ අපව හැරගිය චාමර ලක්ෂාන් සහෘදයාත්,ඔහු හා එක්ව අප රැස කළ කාලයත් මවෙත ලබා දෙන්නැයි කියාය. රැස එතරම්ම ජීවිතයට සමීපය.

මගේ ඉල්ලා අස්වීම කෙරෙහි උරණ වන්නේත්, තැවෙන්නේත් රැස පවුලේ ආදරණීයයන් ය. ඔවුන්ගෙන් පමණක් මම සමාව ඉල්ලමි.

රැස චිරාත් කාලයක් දිනේවා.

මම,
රංජිත් කුමාර සමරකෝන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button