කලා

අලුතින්ම trend එකක් හදපු මේනකා

සාහිත්‍යයේදි කාන්තාවක් කියන්නේ වැලක්. ඒ කියන්නෙ එතෙන්න ගහක් නැතිනම් තනිවම නැඟී සිටින්නට බැරි කෙනෙක් විදියටයි කාන්තාව සාහිත්‍යකරුවන් විසින් අරුත්ගන්වනු ලැබ තිබුණේ. හැබැයි නූතනයේ අපි දකින කාන්තාව නම් ඒ තරම් දුරුවල නැහැ. ස්වෝත්සාහයෙන් නැඟී සිටින, ඇතැම් අවස්ථාවන්වලදි මුළු පවුලෙම බර තිනිව දරා ගන්න වර්තමාන කාන්තාවට ශක්තිය කියෙනවා. ඒක සමහර විට කාලයත් එක්ක වුණු වෙනසක් වෙන්න ඇති. මේ චරිතයත් එහෙම කාන්තාවගේ ශක්තිය පෙන්වන හොඳම උදාහරණයක්. ධෛර්යයෙන් තමන්ගේ ජීවිතය ගොඩනඟා ගත් කෙනෙක්. ඇය නමින් මේනකා අමරසිංහ.

ඇයට අපිත් එක්ක කතාව ආරම්භ කරන්න මම මූලාරම්භය සැපයුවා.

මේනකා අමරසිංහ කියන්නේ කවුද?

මේනකා අමරසිංහ

“මම, ඒ කියන්නේ මේනකා ඉතාම සරල කෙනෙක්. ගාල්ල ප්‍රදේශයේ ඉපදුන මම පවුලේ වැඩිමලා. තාත්තා ව්‍යාපාරිකයෙක් වගේම අම්මා ගෘහණියක්. මට තව නංගි කෙනකුයි මල්ලි කෙනකුයි ඉන්නවා. මම ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. වැඩිදුර අධ්‍යාපනය ලබන්න ව්‍යාපාර කළමනාකරණ ආයතනයට ඇතුළු වුණා. අධ්‍යාපනය අවසන් කරපු මටත් බලාපොරොත්තු වුණු විදිහටම රජයේ රැකියාවක් හිමි වුණා.”

මට අතුරු ප්‍රශ්නයක් මතු වැණා. මොකද ඇය රජයේ රැකියාවක් කළා කිව්වට අද අපි ඇයව හඳුනා ගන්නේ වෙඩින් කාඩ්, කේක් පෙට්ටි හදන ව්‍යාපාරයක හිමිකාරිණියක් විදියට.

රජයේ රැකියාවක් කරන ගමන් කොහොමද මේ වගේ ව්‍යාපාරයක් කරගෙන යන්නේ?

මම අවුරුදු පහක් රජයේ ආයතනයක රැකියාවක් කළා. ඉතාමත් හොඳ රැකියාවක්. හැබැයි පෞද්ගලික හේතුවක් මත මට රැකියාවෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඒත් මධ්‍යම පාන්තික පවුලක් වන නිසා මට කිසිම දෙයක් නොකර ගෙදරට වෙලා ඉන්න හිත් දුන්නේ නෑ. ඒ වගේම එහෙම ඉන්න කම්මැලිකමක් හිතුණා. ඔය අතරේ තමයි මගේ පාසල් කාලයේ පටන් තිබූ හැකියාවක් එළියට ගන්න ඕනෑ කියලා මට හිතුණේ. ගෙදර ඉන්න කාලෙ හෑන්ඩ් මේඩ් බර්ත් ඩේ කාඩ් හදන්න මම පුරුදු වුණා. මුල් කාලේ රිබන් සහ වර්ණවත් කොළ ඒ සඳහා උපයෝගී කරගත්තා. හදන ඒවා ආසාවට ෆේස්බුක් දැම්මා. ඒවා දැකපු අය මට කියලා බර්ත් ඩේ කාඩ් හදවගන්න ඕඩර් දෙන්න ගත්තා. ඔය අතරෙදි තමයි මගේ ජීවිතයේ ඉරණම තීරණය කළ සිදුවීම වෙන්නෙ. මගේ බර්ත් ඩේ කාඩ් දැකල කෙනෙක් මට වෙඩින් කාඩ් 500ක ඕඩරයක් දුන්නා. මගේ අත්කම් නිර්මාණම මම මගේ රැකියාව කරනවා කියලා කියලා හිතා ගත්තේ ඊට පස්සෙයි.

ඇය කියන විදිහට හැමෝම කරන දේ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම කරන්නන්වාලේ දෙයක් කළ යුතුත් නැහැ.

“වෙඩින් කාඩ් ඕඩරය ලැබුණට පස්සේ මම හිතනවා මම හැමෝම කරනවා වගේ බර්ත් ඩේ කාඩ් හදන්නේ නෑ කියලා. ඊට පස්සෙ ඉඳන් මම හදන්නේ වෙඩින් කාඩ් සහ වෙඩින් කේක් පෙට්ටි විතරයි.”

ඇයි මුලින්ම පටන් ගත්තු දේ අත්හරින්න හිතුවේ?

මම කරන දේ හරියට කරනවා වගේම මගේ නිර්මාණවලට ප්‍රමිතියකට අනුව වෙළෙඳපොළක් හදාගන්නවා කියලා මම හිතුවා. බර්ත් ඩේ කාඩ් හදන්න ගත්තාම පොඩි පොඩි ඕඩර්ස් තමයි ලැබෙන්නේ. වෙඩින් කාඩ්, බොක්සස් හදන එක එහෙම නෙවෙයි. එකවර ලොකු ලොකු ඕඩර්ස් තමයි එන්නෙ. අනික එකම අංශයකට ඔළුව යොමු කරද්දි හොඳ නිර්මාණයක් කරන්න ලේසිය. ඒකයි මම මුළින් පටන් ගත්තු දේ අතහරින හිතුවෙ.

එතකොට ව්‍යාපාරයේ නම මොකක්ද? කොහොමද මේක ගැන ජනතාව දැනුවත් වෙන්නේ?

එකට මම තෝරා ගත්තේ අන්තර්ජාලය. ඒ හරහා මම මගේ ව්‍යාපාරය අන් අය අතරෙ ජනප්‍රිය කරන්න පටන් ගත්තා. අන්තර්ජාලය හරහා ව්‍යාපාර කිරීම වඩාත් සුදුසු ක්‍රමයක් සහ වාසිදායක ක්‍රමයක්. මම ව්‍යාපාරික ස්ථානයක් නිශ්චිතව තෝරා ගත්තේ නෑ. ස්ථිර ස්ථානයක් තෝරාගෙන එක තැනකට අපේ කාලේ හිර කරන්න වෙන එක අපරාධයක්. මම හිතුවා අන්තර්ජාලය හරහා මගේ වෙළෙඳපොළ හදා ගන්නවා කියලා. මම ඒ සඳහා ෆේස්බුක් පේජ් එකක් ඕපන් කළා. “Ustyle.lk-wedding invitations” කියලා. මම හදන නිර්මාණ මම මේ හරහා එළියට දැම්මා. ඇත්තටම මට ඒක ලොකු වාසියක් ගෙනදුන්නා. ලොකුම වාසිය වුණේ මට කාලෙ ඉතිරි කරගන්න පුළුවන් වුණු එක. මට එතකොට තව අලුත් නිර්මාණ ගැන හිතන්න කාලයක් ඉතුරු වුණා. හැබැයි දැන් මම මගේ ව්‍යාපාරයේ කරගෙන යන්නේ අලුත් නමකින්. මගේම තනි ව්‍යාපාරයක් විදියට. අලුත් ෆේස්බුක් පේජ් එක විදියට දාලා තියෙන්නෙ “Fairy Hopes.lk” කියන නම.

කොහොමද මේ නිර්මාණ කෙරෙන්නේ?

ඉස්සර කොළවලින්, රිබන්වලින් කාඩ් නිර්මාණය කළා. අද යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් ලේසර් කට් නිර්මාණ කරන තැනට මම මගේ ව්‍යාපාරය සාර්ථක කරගෙන තියෙනවා. අලුතින් විවාහ වෙන්න හිතාගෙන ඉන්න අයට ඩිසයින් එක කියලා මගෙන් ලේසර් කට් නිර්මාණ සහිත කාඩ් සහ කේක් පෙට්ටි මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ලීවලින් ලෙසර් කට් කාඩ් සහ කේක් පෙට්ටි හදන්නත් මම යොමු වුණා.

වැඩි ඉල්ලුමක් තියෙන්නේ මොන වගේ නිර්මාණවලටද?

දැන් වැඩිම ඉල්ලුම තියෙන්නේ ලී ආරාධනා පත්‍ර සහ කේක් පෙට්ටිවලට. ලේසර් කට් කාඩ් සහ බොක්ස්වලට මට ලොකු ඉල්ලුමක් තියෙනවා දැන්. ලොකු ලොකු ඇනවුම් පවා බාර ගන්නවා. ඒ වගේම තැන් විදෙස් රටවලින් පවා වෙඩින් කාඩ් ඔඩර් ලැබෙනවා. වෙඩින් එක ගන්න ලංකාවට ආවත් එතෙක් ලංකාවෙන් පිට ඉන්න අය තමයි වැඩිපුර ඔන්ලයින්ම කාඩ් ඕඩර් බාර දෙන්නේ. මම හිතනවා මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ වෙළෙඳපොළක් මට දැන් හැදිලා තියෙනවා කියලා. මම ලැබෙන ඕඩරයෙන් ගන්නා මුදල්වලින් ඊළඟ ඕඩරය කරගන්න තත්ත්වයට මගේ ව්‍යාපාරය සැලසුම් කර ගත්තා. දැන් ඒකෙන් මේ ව්‍යාපාරයේ කිසිම පාඩුවක් නෑ.

ව්‍යාපාරය කරද්දි බාධාවලටත් මුහුණ දෙන්න් වෙන්න ඇති?

ඔව්. ගොඩක් බාධා ආවා. මම මේ ක්ෂේත්‍රයට එද්දි තවත් ගොඩක් අය මේ ක්ෂේත්‍රයේ හිටියා. ඒ අයගෙන් අභියෝග එල්ල වුණා. හැබැයි මම ඒ කිසිවකට සැලුණෙ නැහැ. මගේ ගෙදර අය ඒකට මට ගොඩාක් උදව් කළා. මේ දේවල් මම තනිවම අන්තර්ජාලය හරහා හදාරලා මගේ හැකියාවන් දියුණු කරගෙන ඉගෙන ගත්ත දේවල්. කාගෙවත් ළඟට ගිහින් මම මේවා ඉගෙන ගත්තේ නැහැ. මගෙම නිර්මාණ මේවා. ඒ නිසා බාධක අභියෝගවලට මාව නවත්තන්න පුළුවන් වුණේ නෑ.

අවසානයේ ඔබට කියන්න තියෙන්නෙ මොනවද?

හැබැයි අපිට බැහැ, අමාරුයි, වෙලාව නැහැ කියලා කවදාවත් කොයි වෙලාවකවත් පසුබසින්න හොඳ නෑ. ඒක කාන්තාවකට සුදුසු නෑ. මම කියන්නේ හැම කාන්තාවක් තුළම විශේෂ හැකියාවක් තියෙනවා. ඒ දේවල් එළියට ගන්න එක ගැහැනු අපේ වගකීමක්. ඒ හරහා තමන්ගේ දෙයක් ආරම්භ කරන එක විශාල ආර්ථික ශක්තියක් පවුලට එකතු කරනවා. මුලින් මටත් රැකියාව නිසා වෙලාවක් තිබුණේ නෑ. හැබැයි රැකියාවෙන් ඉවත් වුණාට පස්සේ ලොකු පීඩනයක් තිබුණා නිකන් ගෙදරට වෙලා ඉන්නකොට. ඒක නැති කරගන්න මැහුම් ගෙතුම් කර කර හිටපු මම, මේ තැනට මගේ හැකියාව දියුණු කර ගත්තේ උත්සාහය නිසාමයි. මම ගෙදරට වෙලා ඉන්න කාන්තාවන්ට කියන්නේ කවදාවත් පහුබහින්න එපා කියලයි. තමන්ගේ හැකියාවෙන් තමන්ගේ දෙයක් පටන් ගන්න. ඒක පවුලට වගේම තමන්ටත් ශක්තියක් වෙනවා නොඅනුමානයි.

Fairy Hopes.lk ෆේස් බුක් පේජ් එක හරහාත් 0772021844 දුරකථන අංකය හරහාත් මාව සම්බන්ධ කර ගන්න පුළුවන්.


සටහන – ශ්‍යාමලී නිශාන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button