දේශීය

රාජ්‍ය අපරාධ ගැන සෙවූ CID නිලධාරීන් 704කට රටින් පිටවීම තහනම් කරයි…!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට 11/25 දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබෙනවා.

ඒ අනුව මෙම නිවේදනය 11/25 දින අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබී තිබූ අතර, මේ වනවිට එම නාම ලේඛන පරිගණකගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා තම දෙපාර්තමේන්තුව දැනුවත් නොකර සිය දරු පවුල ද සමගින් 11/24 දින ස්විට්සර්ලන්තය වෙත යෑමෙන් පසු මෙම නියෝගය පනවා තිබෙනවා.

දැන් වැඩි අවධානයක් යොමුව ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සම්බන්ධයෙනි.

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සඳහන් කරන්නේ ශානි අබේසේකර මහතා හොර රහසේ විදෙස් ගතවීමේ සූදානමක් පවතින හෙයින් වහාම ඔහු අත්අඩංගුවට ගත යුතු බවයි.

පසුගිය කාලයේදී ඔවුන් දේශපාලන වුවමන මත ආන්දෝලනාත්මක පරීක්ෂණ රැසක් මෙම නිලධාරීන් විසින් සිදුකර ඇති බවටයි අජිත් ප්‍රසන්න වැන්නවුන් චෝදනා කරමින් සිටින්නේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම නිලධාරීන්ට විවිධ චෝදනා එල්ල වී ඇති බවද ඔවුන් සඳහන් කරයි. එම චෝදනා මොනවද යන්න පිළිබඳ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ ආන්දෝලනාත්මක පරීක්ෂණ සම්බන්ධයෙන් මේ සමාජයේ බහුතරයක් දැනුවත්ය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් වධ බන්ධනයට ලක්කිරීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරමින් පැවති අතර කොළඹ හා තාදාසන්න ප්‍රදේශයන්හිදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරවීම…. වැනි රටේම අවධානය දිනාගත් පරීක්ෂණ රැසක් ඔවුන් විසින් මෙහෙයවනු ලැබූ අතර තවදුරටත් එම කටයුතු සිදුවෙමින් පවතියි.

එම පරීක්ෂණ දේශපාලන වුවමනාවන් මත සිදු වූ බවට එක් පාර්ශවයකින් දැන් අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුවට චෝදනා එල්ල කරන තරමට එම පරීක්ෂණ මෙරට සමාජයට කොතරම් බලපෑමක් කර ඇත්ද යන්න පැහැදිලිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button