දේශීය

සිංහරාජය, කොලොන්න ප්‍රාදේශීය සභාව විසින් බැකෝ කරයි

යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂිතය සංවර්ධන ක්‍රියාවලි නිසාවෙන් පසු ගිය කාලය තුලදී දැඩි තර්ජන වලට ලක් විය. තවත් එවැනිම සිදු වීමක් සිංහාරජ රක්ෂිතයේ නැගෙනහිර බෑවුමට වන්නට පිහිටි සූරියකන්ද ප්‍රදේශයේ හිමිදිරි පෙදෙස(Morning Side) සංචාරක බංගලාවට පිවිසෙන මාර්ගයේ කිලෝමීටර 5කට ආසන්න දුරක් මාර්ගය දෙපස කොලොන්න ප්‍රාදේශීය සභව මගින් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් වන රක්ෂිතය හායනයට ලක් කර ඇත.

සිංහරාජ වන රක්ෂිතයේ සුවිශේෂි ස්ථානයක් සහ විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති හිමිදිරි පෙදෙස පිවිසුමෙහි රක්ෂිතය තුල සිදුව ඇති වන විනාශය පිළිබඳව සැලවීමත් සමග වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය ඒ පිළිබඳව සොයා බලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසන විට ඔවුන් පැවසුයේ මෙම මාර්ගය සංවර්ධනය කිරීමට කොලොන්න ප්‍රාදේශීය සභාව මගින් අවසර ඉල්ලා ඇති බවත් ඒ අනුව රක්ෂිතය තුල මාර්ගය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කිරීමට අත්‍යවශ බවත්, විශාල යන්ත්‍ර යොදා නොගනමින් මිනිස් ශ්‍රමය පමණක් යොදා ගනිමින් වනාන්තරයට හානි නොවන අන්දමින් මෙම ක්‍රියාවලිය සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය සභාව දැනුවත් කර ඇති බවය.

හිමදිරි පෙදෙස සංචාරක බංගලාවට වාහනයක් මගින් පහසුවෙන් ලඟා වීම සඳහා එක් පසකින් කෙටි මාර්ගයක් ඇති නමුත් අඩි20ක පමණ පළලකින් යුක්තව මෙලෙස මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සභාව ක්‍රියාකිරීම ගැටළු සහගත කරුණක් වේ. රක්ෂිතයක් තුළ සංවර්ධන ක්‍රියාවලියක් සිදු කිරීමේදී අනුගමනය කල යුතු නිසි ක්‍රියා පටිපාටියක් ඇති අතර එම ක්‍රියාවලීන් උල්ලංගනය කරමින් මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදී අවසර ගත යුතු අනෙකුත් කිසිදු ආයතනයකින් අවසර නොගෙන මෙම විනාශකාරී සංවර්ධන ක්‍රියාවලිය කොලොන්න ප්‍රාදේශීය සභාව මගින් හිතුමනාපෙට සිදු කර ඇත. මිනිස් ශ්‍රමය වෙනුවට බැකෝ යන්ත්‍ර යොදා ගැනීම නිසාවෙන් රක්ෂිතයට දැඩි හානියක් සිදු වී ඇති අතර ඒ සමගාමීව රක්ෂිත සීමාව තුල මිනිස් ක්‍රියාකාරකම් වැඩවී අනවසර දැව හෙලීම්, තේ වගාව සඳහා වනාන්තර ආක්‍රමණය කිරීම, පතල් කැනීම සඳහා යොමුවීම වැනි ක්‍රියාවන් ඉහල ගොස් ඇති බව ගම්වාසීන් පවසයි.

මෙලෙස පුළුල් කර ඇති මාර්ගය දෙපස විශාල වශයෙන් නෙළු, මීවන, පාසි ඇතුළු කුඩා ශාක විශේෂ ගණනාවක් තිබූ අතර එම ශාක පද්ධතිය තුළ සර්ප, කෘමි, කටුසු, ගොළුබෙලි ආදී සත්ව විශේෂ බහුලව දැක ගැනීමට හැකියාව තිබූනි. විශාල සුන්දරත්වයක් සමගින් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබූ මාර්ගයක් වන අතර මෙම වන හායනය නිසාවෙන් ශාක හා සත්ව ඇතුළු විශාල ජීවීන් පිරිසකට හානි සිදු වී සුන්දරත්වයටද හානි සිදුව ඇත. මෙම ක්‍රියාවලිය අදූරදර්සී ක්‍රියාවක් වන බැවින් මෙය වැරදි පූරවාදර්ෂයක්ද වන අතර විශාල නාය යැම් වලට අත වැනීමක් ලෙසද දැක්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button