දේශපාලන

“ඡන්ද ප්‍රමාණය ගැන සතුටු වෙන්න බැහැ”

- ජාතික ජන බලවේගය

ජාතික ජන බලවේගයට මෙවර හිමිවූ ඡන්ද ප්‍රමාණය ගැන සතුටුවීමට නොහැකි බව අද (17) දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කර පවසා සිටියි. තමන් ජනතාව ඉදිරියේ තැබූ අපේක්ෂා වෙනුවෙන් අඛණ්ඩව සටන් කරන බවද ඔවුන් අවධාරණය කර සිටියි.

“2019 ජනාධිපතිවරණය අවසන් වී එහි ප්‍රතිඵල නිකුත්වී තිබේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ. ජාතික ජන බලවේගය ලෙස අපට මෙම ජනාධිපති මැතිවරණයේදී ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව පිළිබඳ සතුටුවීමට නොහැකිය. අප මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වුවද එය ලබාගැනීමට නොහැකි වූ බව අප පිළිගත යුතුව තිබේ.

කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණයේදී රටේත් ජනතාවගේත් අනාගත ජයග්‍රහණය සඳහා සටන් වදින ජාතික ජන බලවේගය නම් වූ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී, වාමවාදී හා සැබෑ දේශප්‍රේමී දේශපාලන කඳවුරක් එනම්, පුළුල් මහජන ව්‍යාපාරයක ආරම්භය සනිටුහන් කිරීමට අප සමත්වීමු. එමෙන්ම ලංකාවේ දේශපාලනයේ මැතිවරණ වේදිකා තුළ සිදුකෙරෙන එකිනෙකාට මඩ ගැසීම, අසභ්‍ය වචන කීම, සිල්ලර පොරොන්දු තොග ගණනින් දීම වෙනුවට, රට තුළ ගැඹුරු ප්‍රතිපත්තිමය සංවාදයක් ඇති කිරීමට අප කටයුතු කළෙමු. එම සංවාදය තුළට මෙරට බොහෝදෙනා එකතුකර ගැනීමට හැකිවීම අප ලද දිගුකාලීන දේශපාලන ජයග්‍රහණයකි.

අනෙක් අතට ජනාධිපතිවරණ වේදිකාවල සමහර පක්ෂ ජාතිවාදය අවුලුවාලද්දී විවිධ ජාතිකත්වයන් එකිනෙකට බියවද්දා ඡන්ද ගැනීමට උත්සාහ දරද්දි ජාතිවාදයෙන් තොර දේශපාලනයක් හා ජාතික සමගිය සහිත මැතිවරණ වේදිකාවක් තැනීමටද අපට හැකිවිය. එයද අනාගතය සඳහා වන සාධනීය කරුණක් ලෙස අප දකිමු.

ජනාධිපතිවරණ ව්‍යාපාරය දෙස බලන විට උතුරේ ජනතාව තුළත් දකුණේ ජනතාව තුළත් නිර්මාණය කරනු ලැබූ බිය උපයෝගී කරගෙන ජන මනස නොමග යවා, ජනතාවගේ ඡන්දය තමන්ට ලබාගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කටයුතු කළ බව පැහැදිලිය. ප්‍රතිපත්තිමය සංවාදයක් තුළින් ජනතාව දැනුවත්භාවයට පත්කොට ඡන්දය ලබාගැනීමට අප දැරූ උත්සාහයට එම තත්වය තුළ ඉඩක් නොවූ බව පැහැදිලිය.

කෙසේ වෙතත් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් ජයග්‍රහණය කළ අය, තම ජයග්‍රහණයන් පිළිබඳව උදම් අනමින් සතුටු වුවද ජනතාවගේ පැත්තෙන් ගත්විට මෙහිදී ජනතාව ජයග්‍රහණය කර නැති බව ඉතා පැහැදිලිය. රට තුළ පවතින ඉතාම බරපතළ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික අර්බුදයට මෙම බලයට පත් අයට විසඳුම් නැත. එබැවින් ජනතාවට උරුමවනු ඇත්තේ පැරණි 71ක් වසරක් පුරා ආ එකතැන පල්වෙන පීඩාකාරී සමාජ ජීවිතයම වේ. තමන් ජයග්‍රහණය කර නැති බවත් තම ජයග්‍රහණය ඉදිරියේදී දිනාගත යුතු බවත් ජනතාව ඉක්මනින්ම තේරුම් ගනු ඇතැයි අපි සිතමු. එම ජනතාවත්, රටත් වෙනුවෙන් අපි අපේ වගකීම හා කාර්යභාරය මඳකුදු අත්නොහැර ඉටුකරන බවද අවධාරණය කර සිටිමු.

අවසාන වශයෙන් මෙම ජනාධිපතිවරණය පුරාම අප සමග සහයෝගයෙන් අත්වැල් බැඳගත් සැමටත්, කිසිදු පටු දේශපාලන ලාභ අපේක්ෂාවකින් තොරව අපට නන් අයුරින් සහාය දුන් සැමටත් අපේ ස්තුතිය පිරිනමමු. ජනතාව ඉදිරියේ තැබූ අපේක්ෂාව අපරාජිත බවත් එහි ජයග්‍රහණය වෙනුවෙන් අපි නොසැලී සටන් වදින බවත් යළි යළිත් සහතික කරමු.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button