විශේෂාංග

බන්දු ඔබ පැවසුවේ ඇත්ත ය….

තමා විවාහ වී වසර හතළිහක් බවත්, ඔසප් වීම යනු කුමක්දැයි තමා තවමත් නොදන්නා බවත් බන්දු සමරසිංහ මහත් අභිමානයෙන් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන වේදිකාව මත හිඳ පවසන ආකාරය නරඹන්නට ලැබිණ.

වසර හතළිහක් තිස්සේ ම මාසික ඔසප් වීම තම ස්වාමි පුරුෂයාගෙන් සඟවාගෙන සිටි බිරිඳ බන්දු සමරසිංහගෙන් තව මොන මොනවා හංගාගෙන ඉන්නට ඇත්දැයි අපි විමසන්නේ නැත. එය ඔවුන් දෙදෙනා එක්ව විසඳාගත යුතු ප්‍රශ්නයකි.

නමුත්, අපි දේශපාලන වේදිකා මත සුපුරුදු සිල්ලර විහිළු සපයන බන්දු සමරසිංහට මෙසේ පවසමු….

බන්දු සමරසිංහ;
ඔබට සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් යනු කඩෙන් ගෙන එන පාන් ගෙඩියක් වැනි දෙයක් නොවන බව අමුතුවෙන් පැවසිය යුතු නැත. අනාදිමත් කාලයක සිට කසිකබල් සිංහල චිත්‍රපට වල ගැලරියේ ලාබ සිනහව උපදවනු පිණිස හිරිකිතයකින් තොරව පෙනී සිටි ඕලාරික දර්ශන අනුව නම්, ඔබට සනීපාරක්ෂක තුවා වැනි මාතෘකා මහමෙරක් බඳු විය යුතු ය.

පිරිමියෙක් ගැහැණු ඇඳුමක් ඇඳ කාන්තා වැසිකිළියකට ගොස් හිටගෙන මූත්‍රා කිරීමත්, ඒ දකින මුත්‍රා කරමින් සිටි අනික් කාන්තාවන් බිය වැදී පලායන ආකාරයත් අශික්ෂිත අන්දමින් පෙන්වීම හාස්‍ය රසය ලෙස වටහාගෙන සිටින ඔබ ; ඔබගේ බිරිඳගේ මාසික ඔසප් වීම පිළිබඳ දැන සිටියා නම් ඊ ළඟ චිත්‍රපටයේ දී හෝ වේදිකාවේ දී හාස්‍යයට නගන්නේ ඒ ලේ දහර ය.

බන්දු; ඔබ පැවසුවේ ඇත්ත ය.

බිරිඳගේ ඔසප් වීම පිළිබඳ නොදැන වසර හතළිහක් පවුල් කා දරුවන් හැදූ පිරිමියෙකුට සනීපාරක්ෂක තුවාය යනු දිනපතා කඩයෙන් ගෙන එන පාන් ගෙඩියක් නොව, නොදන්නා ලොවකින් එකවර මතුවන පිටසක්වල යානාවකි. අප එය වටහා ගතිමු.


සහන් කසීර වික්‍රමසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button