දේශපාලන

වඳ දොස්තරලා කෝ…? වඳ කොත්තු කෝ…?

මීට මාස කිහිපයකට පෙරාතුව රටපුරා වසංගතයක් සේ පැතිර ගිය වඳ බෙහෙත්, වඳ දොස්තරලා, වඳ කොත්තු අද රටේ මාතෘකාවක් නොවන්නේත්, ඒ ගැන කතා නොකරන්නේත් ඇයි දැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා විමසා තිබේ. ඒ ජාතික ජනතා බලවේගයේ රැළියක් අවස්ථාවේදී ය.

“කොච්චරනම් වඳ දොස්තරලා, වඳ කොත්තු, වඳ බෙහෙත් ගැන රටපුරා කතා යැව්වද, මාධ්‍යවල කොච්චරනම් කතා කළා ද. අද කෝ මේ වඳ දොස්තරලා, බඳ බෙහෙත්, වඳ කොත්තු…. ඡන්දේ කාලේ මේවා කතා කළොත් මුස්ලිම් ඡන්ද ටික නොලැබෙන නිසා මේවා යටගහලා තියෙන්නේ…. මේවා නිර්මාණය කරපු පුද්ගලයන් විසින්ම දැන් මේවා යටගහලා…. අන්න ඒකයි ඇත්තම කතාව”

ජාතීන් අතර අර්බුද ඇතිකිරීමට දැඩිසේ මහන්සිවූ පාර්ශවයන් මැතිවරණය උදෙසා නිහඬ වී ඇති බවත්, හුදෙක්ම ජනතාව බියට පත්කිරීම ඇතැම් අපේක්ෂකයන්ගේ අරමුණ වී ඇති නිසා ‘බය මාකට්’ කරන මැතිවරණ ක්‍රියාන්විතයක් තුල වඳ කතා යට ගැසීම සිදුව ඇති බවද පැවසීය.

“ජනතාව විසින් පරාජය කරලා මැදමුලනේ ජනේලේ එල්ලුනු මහින්ද රාජපක්ෂ, රටින් පැනලා ගියා බැසිල් රාජපක්ෂ, පැත්තකට වෙලා පාඩුවේ ඉන්න තීරණය කරපු ගෝඨාභය රාජපක්ෂ ආයෙත් දේශපාලනයට ගේන්නේ, මැතිවරණයට ගේන්නේ යූ.ඇන්.පී ය තමයි. ලසන්තලා, තාජුඩීන්ලා මරපු ඒවට නීතිය ක්‍රියාත්මක කරානම්, මාධ්‍යවේදීන් අතුරුදහන් කරපුවට නීතිය ක්‍රියාත්මක කළා නම් මේ කිසිකෙනෙක්ට ආයෙත් දේශපාලනයට එන්න බෑ.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතීන් අතර අර්බුද නිර්මාණය කරමින්, ත්‍රස්තවාදී බිල්ලන් මතුකරමින් මැතිවරණ ප්‍රචාරණය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද ටිල්වින් සිල්වා අදහස් දැක්වීය.

“අදාල වෙලාවේ ජාතිවාදය ඇවිස්සුවා…. දැන් අවුස්සන එකෙන් පාඩු නිසා දැන් ජාතිවාදය අවුස්සන්නේ නෑ…. ඒ වෙනුවට මිනිස්සු බය කරනවා ගෝඨා ආවේ නැත්නම් මෙහෙම වෙයි කියලා…. අනිත් පැත්තේ අය කියනවා ගෝඨා ආවොත් මෙහෙම වෙයි, කියලා…. ගෝඨාභයගේ කට්ටිය සජිත් ආවොත් මෙහෙම වෙයි වගේ දේවල් කියනවා…. තනිකරම මිනිස්සු බයකරලා ඡන්ද ටික ගන්න ක්‍රමයක් විතරයි මෙතන තියෙන්නේ”

මෙම රැස්වීමට ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ඇතුළු පක්ෂයේ සාමාජිකයන් පිරිසක් සහ වෘත්තිකයන් ගණනාවක් සහභාගීවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button