සමාජ

ශ්‍රී ලංකාවේ දරු පැටවුන්ටද අනාගතයේ අත්වනු ඇත්තේ සුර්ජිත්ට අත්වූ ඉරණමමය

සුර්ජීත් නම් දරු පැටවා මිනිසුන් විසින්ම හෑරූ ගුලක් තුළ දින කිහිපයක් සිරවී සිට මියගොස් ඇති බවට වන පුවත ලොවම සංවේදීභාවයකට පත්කර ඇත. දින කිහිපයක් දරුවා එහි සිරවී සිටිනු බලාසිටීමට සිදුවීමත් සහ සඳ තරණයට උත්සහ කළ තාක්ෂණයක් සහිත ඉන්දියාව එම ජීවිතය ගලවා ගැනීමට අපොහොසත් වීම ත් එම සිදුවීම තවත් කනගාටුදායක එකක් බවට පත්කර ඇත. එමෙන්ම මෙතරම් ගැඹුරට හාරමින් ජලය සෙවීමට මිනිසාට සිදුවීමත් කෙතරම් ඛේදජනක ද යන්න අප මදක් කල්පනා කළ යුතුව ඇත.

දශක කිහිපයකට පෙර තමිල්නාඩුවට ජලය සැපයීම සදහා කෝම්, අඩියාර් සහ කොසස්තාලෙයාර් නම් ප්‍රධාන ගංඟා 03ක් ද, බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකළ බකිංහැම් ඇළ මෙන්ම වෙනත් ජල මූලාශ්‍ර දුසිම් දෙකකට අධික ප්‍රමාණයක් පැවතී ඇත. නමුත් 1970 දශකයෙන් පසුව මහා නගර ව්‍යාපෘතීන් සහ අනෙකුත් අධිවේගී මාර්ග, ගුවන් තොටුපොලවල් සහ ගුවන් පාලම් මෙන්ම අවිධිමත්ව ඉඩම් ගොඩකිරීම හේතුවෙන් මෙම ජල මූලාශ්‍ර වලට අත්ව ඇත්තේ ඛේදජනක ඉරණමකි.

පසුගිය දශකය තුළ මෙම කලාපය ආශ්‍රිතව පැවති තෙත්බිම් වලින් 33%ක් අහිමිව ගොස් ඇති අතර වඟාබිම් වලින් 24%ක ප්‍රමාණයක් ගොඩ කර ඇති බවට ඇස්තමේන්තු ගත කර ඇත. එමෙන්ම මේ වන විට ප්‍රධාන ගංගා 03 ද බකිංහැම් ඇළ ද සිඳී ගොස් තිබෙන්නේ දශක 2කට පෙර දුසිම් දෙකකටත් වැඩිය පැවති ජල මූලාශ්‍ර සංඛ්‍යාව 7ක් දක්වා පහත දමමිනි. ඒවායෙනුත් කිහිපයක් පවතින්නේ 1%කටත් අඩු ජල ගබඩා මට්ටමකින් යුතුවය.

මිලියන 10කටත් අධික ජනගහණයක් වෙසෙන මෙම භූමිය තුළ ජලයට අත්ව ඇති ඛේදජනක ඉරණම මෙයයි. මෙම ඛේදජනක තත්වය ආරම්භ වන්නේ 1970 දශකයේදීය. එම කාලයේදී තමිල්නාඩු රජය විසින් පුරාණ තමිල්නාඩු කවියෙකු වන තිරුවල්ලුවර් වෙනුවෙන් ඒ වන විටත් පෑදී තිබූ නුන්ගම්බක්කම් විලෙහි ගැඹුරුම ස්ථානයේ ස්මාරකයක් ඉදිකරන ලදි. අද ද එම ස්මාරකය තමිල්නාඩු ජනතාවගේ ජලයට අත්වූ ඛේදජනක ඉරණම පෙන්නුම් කරමින් නැඟී සිටියි.

එළඹෙන 2030 දශකය තුළ ඉන්දියාවේ ජනගහනයෙන් 40%කට පිරිසිදු ජලය ලබා ගැනීමේ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතරු ඇගවී ඇත. දිනෙන් දින වර්ධනය වන ජනගහණය ද, ඉවක් බවක් නොමැති අවිධිමත් සංවර්ධන පිපාසය ද, දූෂිත දේශපාලන යාන්ත්‍රණය ද ඉන්දියාවට නිර්මාණය කරමින් ඇත්තේ ඉතා දුෂ්කර වූ කාලපරිච්ඡේදයකි. එම කාලපරිච්ඡේදය තුළ කාෂ්මීරයේ ජල මූලාශ්‍ර වලට කුලල් කා ගැනීම ද, සුර්ජීත් වැනි දරුපැටවුන් මෙලොව හැර යාම ද වර්ධනය වනු ඇත.

ඉන්දියාව මේ වන විට කලාපීය බලවතා වීමේ සිහිනය සඵල කර ගැනීම සදහා තමා සතුව පැවති සියලු සම්පත් අහිමි කරගෙන තිබේ. එමෙන්ම තම විනාශය අනෙකුත් අසල්වැසි රාජ්‍යන්ගේ කර පිටින් යවමින් තම දූෂිත වායූන් අනෙකුත් රාජ්‍යයන් කරා ද මුදා හරිමින් කලාපීය වායුගෝලය වනසමින් තිබේ. භූතානයේ කාබන් සින්කය නොවන්නට මෙම තත්වය තවත් ඛේදජනක තත්වයකට පත්වනු ඇත. සුර්ජිත් මෙන්ම ඉන්දියාව ද ගුලක් තුළ සිරවී තිබේ. ඉන්දියාවට මෙම මොහොතේ තිබෙන අභියෝගය වන්නේ සුර්ජිත් මෙන් ජීවිතය හැර නොගොස් අනාගතය දක්වා ගමන් කළ යුතු වීමයි.

ශ්‍රී ලංකාව මේ මොහොතේ තීරණය කළ යුත්තේ තවදුරටත් මේ ඉබාගාතේ යන අවිධිමත් සංවර්ධනය සිදු කරගෙන යනවාද නැතහොත් විධිමත් ක්‍රියාවලියකට යොමු වනවාද යන්නයි. නැතහොත් ශ්‍රී ලංකාවේ දරු පැටවුන්ටද අනාගතයේ අත්වනු ඇත්තේ සුර්ජිත්ට අත්වූ ඉරණමමය.


Voice for Climate Change ඇසුරින්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close