දේශීය

‘කාදිනල් ඇතිකළ බෝම්බ කලබලයේ’ ඇත්ත නැත්ත….

අප්‍රේල් 21 ප්‍රහාරයේ උණුසුම පහව යමින් තිබියදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් නැවතත් වැඩ පටන්ගෙන ඇත්තේ අලුත් ප්‍රහාරයක් ගැන කියමිනි. ඒ, ලබන 15 වැනිදාත් 26 වැනිදාත් අතර පාස්කු ප්‍රහාරය මෙන් ප්‍රහාරයක් කතෝලික පල්ලිවලට එල්ලවීමට ඉඩකඩ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නටත් ලිඛිතව දැනුම් දෙමිනි. මෙම ලිඛිත දැනුම්දීම කාදිනල් කරන්නේ ඉකුත් සතියේදීය. ඒ වෙනුවෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීමක්ද ජනාධිපතිවරයා කැඳවන්නට පවා පියවර ගත්තේය. ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම බුද්ධි අංශ ප්‍රධානීන්ද එම ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගිවී සිටියත් ඒ කිසිවකුත් ඒ වන විටත් කාදිනල්වරයා සඳහන් කරන ආකාරයේ ප්‍රහාරයක් ගැන දැන සිටියේ නැත.

කාදිනල්වරයා තමාට එම තොරතුර ලද ආකාරය ගැන කිසිවක් සඳහන් කර නැති අතර උන්වහන්සේගෙන් විමසුවත් ඒ ගැන කියන්නේද නැත. උන්වහන්සේ පවසා ඇත්තේ එය තමන්ට ලද ඉතා විශ්වාසවන්ත රහසිගත තොරතුරක් බවය.

බුද්ධි අංශ පවා නොදන්නා මේ තොරතුර ගැන කාදිනල් හිමි සඟවා කටයුතු කරන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු කතෝලික පල්ලිවලට ලබාදුන් ආරක්ෂාව ක්‍රමයෙන් අඩුකරමින් තිබුණු නිසාදැයි ආරක්ෂක මණ්ඩලයටද ප්‍රශ්නයක් වී තිබිණි. කාදිනල් හිමි මේ උත්සාහ දරන්නේ පල්ලිවල ආරක්ෂාව තරකර ගන්නටද, නැති නම් ජනපතිවරණ සමයේ තවදුරටත් ආරක්ෂාව පිළිබඳව දේශපාලන වේදිකාවේ යම් කතාබහක් ඇතිකරවන්නට මාතෘකාවක් සැපයීමක්දැයි ආරක්ෂක අංශවලට ඇත්තේ දැඩි සැකයකි. කෙසේ වෙතත් කාදිනල්වරයාගේ එම තොරතුරට අනුව කතෝලික පල්ලිවල ආරක්ෂාව තරකිරීමට ආරක්ෂක මණ්ඩලය තීරණය කරන්නේ එම තොරතුරේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් එය දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පත්වීම වළක්වාලමින් කාදිනල් හිමියන්ද සතුටුකරන්නට සිතාගෙනය. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ බොර දියේ මාළු බාමින් ඇතැම් පොලිස් ලොක්කන් කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධකම් නොමැති පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් දේශපාලන ගේම් ගසන්නටද ගත්තේය. කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි කිත්සිරි ජයලත් ඇතුළු ඔහුගේ හිතවතුන් කුරුණෑගල රෝහලේ සේවයේ නිරතව සිටි ප්‍රසව හා නාරි වෛද්‍ය ෂාෆි සියාබ්දීන්ව අත්අඩංගුවට ගත්තේද එසේය.

ෂාෆිව පමණක් නොව, පාර්ලිමේන්තුවේ හැන්සාඞ් අංශයේ සේවයේ නිරතව සිටි භාෂා පරිවර්තකයකු වූ ජමල්ඩීන් නෞෂාඩ්වද නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ඇතුළු සහචරයන් එක්ව ත්‍රස්තවාදියෙක් කළේය. ඒ ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉතා පුළුල් විමර්ශනයක් පවත්වා මේ වන විට ජමාල්ඩීන් නෞෂාඩ්ව නිදහස් කර ඇත්තේ සැබෑ ලෙසම ඔහු ත්‍රස්තවාදියෙක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධකම් ඇතැයි කිසිදු සාක්ෂියක් විමර්ශනවලින් හෙළිනොවූ බැවිනි. ජමල්ඩීන් නෞෂාඩ් වැඩි කල් නොගොස් නැවතත් පාර්ලිමේන්තුවේ සේවයටද යොමුවනු ඇත. දැනගන්නට ඇති ආකාරයට ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුවනු ඇත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඒ අවශ්‍ය ලියකියවිලි සකස්කර ඇත්තේ පාර්ලිමේන්තුවට යොමු කරන්නටය.

“කුරුණෑගලින් කරල තියෙන්නේ මහා අපරාධයක්. ජමල්ඩීන් ඉගෙනගත්තු හොඳ මනුස්සයෙක්. මාස ගණනක් අපි එයාව තියාගෙන පරීක්ෂණ කළා. දුරකතන විශ්ලේෂණ පවා කළා. බැංකු ගිණුම් පරීක්ෂා කළා. සැකකටයුතු කිසිවක් හෙළිවුණේ නම් නැහැ.” ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් ඒ ගැන කීවේ එවන් කතාවකි.

ජමල්ඩීන් නෞෂාඩ් ගැන පමණක් නොව, බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය මගින් සහරාන්ගේ කල්ලියේ ලොක්කෙක් කරමින් අත්අඩංගුවට ගත් මොහොමඞ් රිස්කාන් නමැති නෞකා භාණ්ඩ ප්‍රවාහන සමාගම් හිමිකරුවෙක් වෙනුවෙන්ද පෙනීසිටියේය. වත්තල මාබෝල ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉකුත් පළාත් පාලන මැතිවරණයට තරග කළ ඔහු මාබෝලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරයාද විය. ඔහු ත්‍රස්තවාදියෙක් කරමින් මාධ්‍ය වාර්තා පළවන විට ඔහු ත්‍රස්තවාදියෙක් නොවන බව පැහැදිලිවම සටහන් තැබීමට අප බිය වූයේ නැත. ඒ බව දැන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයද තහවුරුකර හමාරය. මුල සිටම මෙම තීරයෙන් අප සඳහන් කරනු ලැබුවේ මොහොමඞ් රිස්කාන් ත්‍රස්තවාදියෙක් නොව, රේගු නිලධාරීන් සමග එක්ව ව්‍යාපාර කරන්නකු බවය. එසේම පොලිසියේ ලොකු ලොක්කන් සමගින්ද ඉතා කිට්ටු සම්බන්ධයක් පවත්වන බවද පැහැදිලිවම අප වාර්තා කරනු ලැබීය. එසේ ඔහු පොලිසිය සමග සම්බන්ධකම් පවත්වන ලද්දේ ත්‍රස්ත ක්‍රියා නිදහසේ කරගෙන යන්නට නොව, ව්‍යාපාර නිදහසේ කරගෙන යන්නටය. ඒ බවද අප විසින් මෙම තීරුව ඔස්සේ හෙළිකළ ඇති අතර අද තහවුරු වී ඇත්තේ ඒ බවය. ඇතැම් ව්‍යාපාර ඔස්සේ ප්‍රකෝටිපතියෙක් වී සිටින ඔහු ත්‍රස්ත ක්‍රියාවලින් නිදහස ලැබූවත් මුදල් විශුද්ධිකරණයට මේ වන විටත් හසුවී හමාරය. ඔහු සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් සිදුවන්නේ ඒ සම්බන්ධයෙනි.

ජනමාධ්‍ය විසින් ත්‍රස්තවාදියෙක් කළ තවත් අයෙක් වන්නේ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ සභාපති රෂිඞ් අක්බාර්ය. වසර තිහක් තිස්සේ එම සංවිධානයේ සභාපති ධුරය දරන ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා ප්‍රශ්න කර නිදහස් කර තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගන්නේ යම් දේශපාලන සැලසුමකට අනුවය. මෙරට මුස්ලිම් තරුණයන් සිරියාවට යවා යුද පුහුණුව ලබාදුන්නේ අක්බාර් බවට පවා ඇතැම් මාධ්‍යවල පළවන්නට වූයේ එකී දේශපාලන සැලසුමට අනුවය. අක්බාර් 2027 වසරේදී රට අල්ලන්නට සැලසුම් කළ බවට ඔවුන් සිය මාධ්‍යවල පළකරන්නට වූයේ කොළඹ අපරාධ කොට්ඨාසය මූලාශ්‍ර කරගෙනය. එය අතේ පැළවන බොරුවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදන පවා පළකරන්නට එම මාධ්‍ය සදාචාරසම්පන්න නොවූයේ අරමුණ රට ඇවිස්සීම නිසා වන්නට පුළුවන. අක්බාර් ඇෆ්ගන් යුද්ධයට පවා සහභාගිවී ඇති බව මෙන්ම පලස්තීන සහ ටියුනීසියා ජනාධිපතිවරු පවා හමුවෙමින් ඔවුන් සමග එකට සිට ලබාගත් ඡායාරූප පවා ඔහු සතුව තිබී සොයාගත් බවද එම මාධ්‍ය වාර්තාවල පළවී තිබිණි. එහෙත් එවන් ඡායාරූප කොළඹ අපරාධ කොට්ඨාසයට නම් හමුවී තිබුණේ නැත. ඒ ඔහුගේ හැට වසරක ජීවිත කාලය තුළ ඒ කියන කිසිදු රටකට අඩියක්වත් තබා නොතිබුණු බැවිනි. එසේම ඔහුව මාවනැල්ලේ බුදු පිළිම විනාශයටද මාධ්‍ය විසින් ගාවා තිබුණි. ඒ බුදු පිළිම හානිකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැහැදිලිවම ඔහු ඊට සම්බන්ධ නැතැයි සඳහන් කරන විටදීය. කොළඹ අපරාධ කොට්ඨාස අත්අඩංගුවේ සිටි ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පොලිස්පති නියමයෙන් යොමුකෙරෙන්නේ සැබෑ විමර්ශනයක් ඔහු සම්බන්ධයෙන් කළ යුතුව තිබුණු බැවිනි. ඒ බොරු මාධ්‍ය වාර්තාවලින් ජනතාවද නොමඟ යවා තිබුණු බැවිනි. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඔහුවද නිදහස් කර යවන්නේ මාධ්‍යවල සඳහන්ව තිබුණු ආකාරයේ කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට ඔහුගේ සම්බන්ධයක් නැතැයි පැහැදිලිවම හෙළිවන්නට වූ බැවිනි. අහිංසක පුද්ගලයන්ව ත්‍රස්තවාදීන් කරමින් බොරුව මවන මේ මාධ්‍ය ආයතනවලට එරෙහිව යම් පියවරක් ගතයුතු යැයි මේ වන විටත් සමාජ කතිකාවක් ඇතිවී තිබෙන බැවින් පොලිස් මූලස්ථානයේ අවධානය යොමුවී ඇත්තේ ඉදිරියේදී එම මාධ්‍ය වාර්තාකරුවන්වද අධිකරණය ඉදිරියට ගෙන්වන්නටය.

මේ අතර අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි පියවර නොගත් බවට චෝදනා එල්ලවී ඇති, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ඉදිරිපත්වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ගන්නේද ඉක්තු සතියේදීමය. ඒ අනුව එම පෙත්සම් ලබන ජනවාරි 20, 21 සහ 22 යන දින තුනේදී විභාගයට ගනු ඇත. ජාතික ගීතය වාදනය කිරීමන් අනතුරුව භාවනාව කළ යුතු වූවත් විදුලි සෝපානයේ ක්‍රියාකාරු ලෙස සේවයේ නිරතව සිටි සමරකෝන් බණ්ඩා ඒ ගැන සිටියේ වගේ වගක් නැති ගානටය. එය දුටු පූජිත් තරහෙන් පුපුරමින් සිවිල් ඇඳුමින් සිටි සමරකොන් බණ්ඩාගේ කමීසයෙන් අල්ලා ඔහුව විදුලි සෝපානයේ බිත්තියකට හේත්තුකරමින් පරුෂ වචනයෙන් බැණවදින්නේ සිය නියෝගයට අවනත නොවීම නිසාය.

ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් ප්‍රතිචාර එල්ලවන්නේ සමරකෝන් බණ්ඩාට පහරදීමට තැත්කිරීමේ පූජිත්ගේ ක්‍රියාකලාපය පටිගතවී තිබුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂක කැමරා පද්ධතියේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරිමිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අධීක්ෂණයේ ඇති ආරක්ෂක කැමරා පද්ධතියේ එම දර්ශන අන්තර්ජාලයට ගියේ කෙසේදැයි පොලිස් දෙපාර්තමේන්තුව තුළ නම් ප්‍රසිද්ධ රහසකි.

ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාසයකට අධික කාලයක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රැඳෙමින් බන්ධනාගාරගතව සිටි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතාටද ඉකුත් සතියේදී අධිකරණයෙන් ඇප ලැබී තිබිණි. සමන් දිසානායක මහතාට එරෙහිව ඇවන්ගාඞ් චෝදනාව එල්ලවන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්ව සිටියදීය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී මතුවුණු රාජ්‍ය නිලධාරීන් අතර ජනහිතකාමියෙක් ලෙස ජගත් පී. විජේවීර මහතාව හඳුන්වා දිය හැකිය. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස සේවයේ නිරතව සිටි ඔහු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ලෙසද සේවයේ නිරතව සිටියේය. සිවිල් මහජනතාවට ජාතික හැදුනුම්පත් සකස් කිරීමේදී ඇතිවන ගැටලු ගැන කියන්නට තමාව ඍජුවම හමුවීමට පවා ඔහු අවස්ථාව ලබාදුන්නේය. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සිදුවූ දූෂණ අක්‍රමිකතාවලට වැට බැන්දේද ඔහුය. රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස අනතුරුව ජගත් විජේවීර පත්වන්නේ උසස්වීමක් ලෙසිනි. රේගුවේද ලොකු වෙනසක් කළ ඔහුට වැඩි කාලයක් එහිද සේවයේ නිරතවන්නට ඉඩක් නොවීය. පොලිසිය භාර අමාත්‍යාංශය වන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරය හිමිවිය. අනතුරුව ඔහුව විතැන්වන්නේ ධීවර කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසිනි. දක්ෂ ලේකම්වරයෙක් වන ජගත් පී. විජේවීරට කණකොකා හැඬලෙන්නේ ඔහු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටියදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උවමනාවට රේගු භාරයේ තිබුණු රත්තරන් කිලෝ 08ක් නිධන්කිරීම වෙනුවෙන් නිදහස් කිරීමට මුල්වීමක් හේතුකොට ගෙනය. එම රත්තරන් කිලෝ 08 නිදහස් කරන්නේ යුද්ධය නිමාවීම වෙනුවෙන් පළාත් 09යේ ගොඩනැඟීමට සැලසුම් කළ පළමු චෛත්‍යයේ තැන්පත් කිරීමටය. අනුරාධපුරයේ මේ වන විට ඉදිවෙමින් පවතින සඳහිරු සෑය නම් වූ එම චෛත්‍යයේ එම රන් කිලෝ 08 තැන්පත් වන්නේ රන් පිළිමයක් ලෙස සකස් කරමිනි.

ඒ සඳහා නිදහස් කරන රත්තරන් කිලෝ 08 මෙරට සිට ඉන්දියාවට හොර රහසේ රැගෙන යමින් තිබියදී මන්නාරමේදී අත්අඩංගුවට ගත් කිලෝ 45ක රත්තරන් තොගයකින් ලබාගත් කොටසක් පමණි. ආණ්ඩු පෙරළියෙන් පසු මේ ගැන විමර්ශනයක් පවත්වන්නේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි. ඒ, එම රත්තරන් කිලෝ 08 නිසි ක්‍රමවේදයකින් තොරව නිදහස් කර ඇතැයි චෝදනා කරමින් ලද පැමිණිල්ලකට අනුවය. විමර්ශන අවසානයේදී සිදුවන්නේ එවකට රේගු අධ්‍යක්ෂ ජනරාල්ව සිටි ජගත් පී. විජේවීර මහතාද නීතිපති උපදෙසින් අත්අඩංගුවට ගැනීමය. මෙයට පෙර විජේවීර මහතාට විමල් වීරවංශගේ බිරියගේ ජාතික හැඳුනුම්පත ගැනද චෝදනාවක් එල්ලවී තිබිණි. ඒ, නිසි ලේඛන නොමැතිව අඩු වයසක් යොදා ජාතික හැඳුනුම්පතක් සකස්කර දීමක් සම්බන්ධයෙනි. එම චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහුට කටඋත්තරයක් පවා දීමට සිදුවිය. එකල ඔහු නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයාය. එම අමාත්‍යාංශය ඔහුට අහිමි වන්නේත් ධිවර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ඔහුව පත්කරන්නේත් එම චෝදනාවත් සමගිනි. සඳහිරු සෑයට රත්තරන් කිලෝ 08ක් මුදාහැරීමකට විජේවීර මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නේ මේ අතරතුරදීය. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඔහුද දැන් සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේය.

මේ අතර පොලිසියේ විශේෂ බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශය විසින් පාතාල කල්ලි නායකයෙක් වන අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බවට ව්‍යාජ බුද්ධි තොරතුරක් නිකුත්කර තිබිණි. මෙම බුද්ධි තොරතුර පිටුපස ඇත්තේ දේශපාලන කතාවකි. ඒ ඉදිරි ජනාධිපතිවරණයේදී පවතින ආණ්ඩු පාර්ශ්වයට සහාය දැක්වීමට අංගොඩ ලොක්කා පැමිණ ඇති බව කීමටය. මෙම බුද්ධි තොරතුර පිටුපස සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්නට දැඩි වෙහෙසක නිරතවන මාධ්‍ය ආයතනයකි. අංගොඩ ලොක්කා මෙරටට පැමිණ ඇති බවට ව්‍යාජ පුවත විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරියකුට ලබාදෙන්නේ එම මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදියෙකි. එම නිලධාරියා සතියකට වතාවක් එම මාධ්‍ය ආයතනයේ කරක්ගැසීම එහි සේවයේ නිරතව සිටින මාධ්‍යවේදීන්ට සුපුරුදු දසුනකි. මාධ්‍යවේදියාගෙන් ලද එම ව්‍යාජ බුද්ධි තොරතුර බුද්ධි වාර්තාවක් ලෙස බලධාරීන් අතට පත්වන විට අදාළ පුවත්පතේ ප්‍රවෘත්තියක් පළවන්නේ අංගොඩ ලොක්කා මෙරටට පැමිණ ඇතැයි බුද්ධි අංශ හෙළිකරගෙන ඇති බව සඳහන් කරමිනි. අංගොඩ ලොක්කාගේ ලංකා ගමනය ගැන වූ එම ව්‍යාජ පුවත මැවෙන ආකාරය ගැන හෙළිකරන්නේද එම බුද්ධි අංශයේම නිලධාරීන් පිරිසකි. ඒ, එම බුද්ධි තොරතුර ව්‍යාජ බව රාජ්‍ය බුද්ධි සේවය තහවුරු කිරීමත් සමග ඒ ගැන පොලිස් ලොක්කන් විශේෂ කාර්යාංශයෙන් කළ ප්‍රශ්නකිරීම් හමුවේය.


මව්රට පුවත්පත ඇසුරින්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close