දේශපාලන

‘මඩකලපුව කැම්පස් එකට’ අනුමැතිය ගෝඨා ජනාධිපති වුන ගමන්ම දෙනවා – බැසිල් පොරොන්දු වෙයි

නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ බලවත් ඉල්ලීම මත සිදුවෙයි.

බැසිල් රාජපක්ෂ සහ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා අතර ඇති කරගත් ගිවිසුම් කිහිපයක් මත එම යෝජනාවට හිස්බුල්ලා එකඟ වී ඇත.

හිස්බුල්ලා පාර්ශවයෙන් ඉන් ප්‍රධානම යෝජනාව ලෙස ඉදිරිපත් වී ඇත්තේ ඔහු විසින් ඉඳිකරමින් පවතින නැගෙනහිර පෞද්ගලික විශ්ව විද්‍යාලයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ වහාම අනුමැතිය ලබා දෙන බවට පොරොන්දු වෙමිනි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබීමට නියමිත නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ ඡන්ද හිස්බුල්ලා ලවා යම් පමණකින් හෝ කැඩීම බැසිල් රාජපක්ෂගේ අරමුණ වී තිබේ.

එමෙන්ම බැසිල් රාජපක්ෂ විසින් හිස්බුල්ලා සමග නැගෙනහිර පළාතේ මැතිවරණ කටයුතු මෙහෙයවීම ‘ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ‘ඩමී’ අපේක්ෂකයකු වන ජවිපෙ හිටපු මන්ත්‍රී සිරිපාල අමරසිංහ වෙත පවරා ඇත.

කෙසේවුවද මෙම සරසවියට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කළ අතුරලියේ රතනද මේවනවිට ගෝඨාබය රාජපක්ෂට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.

රතනගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ‘රට සුරකින බලවේගයේ’ ප්‍රථම උද්ඝෝෂණය හා පාගමනක්ද පැවැත්විණි.

ඊට මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන ඇතුළු මහනුවර, දිඹුලාගල, මඩකලපුව යන ප්‍රදේශවල හිමිවරුද, සිවිල් ප්‍රජාවද, දෙමළ ජනතාවද 1000කට ආසන්න ප්‍රමාණයක් එක්ව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button