පුරවැසි කොළම

ටිල්වින් නෙළුම් කුලුනෙන් පැන සියදිවි නසාගත යුතුයි

නෙළුම් කුලුන අද සිට කොළඹ නගරයේ නිල සංකේතයයි. එය සුන්දරය. දකුණු ආසියාවේ උසම කුලුනය. ලෝකයෙන්ම 19වැනි කුලුනය.ලාංකිකයකු ලෙස එහි විසිතුරු දැක තුටු විය හැක. ඩුබායි නගරය⁣ට – බර්ජ්කලීෆා, පැරීසියට – අයිෆල් කුලුන සේ කොළඹට – නෙළුම් කුලුනයි. එය ලාංකේය ආඩම්බරයයි. එහි අයිතිය එක්කෝටිවිසිලක්ෂයක් වූ සමස්ත ශ්‍රී ලාංකිකයන්ටයි.

සමාවන්න…. පොඩි වැරදීමක්. ඔබට නෙළුම් කුලුන ගැන ආඩම්බර වීමට අයිතියක් ඇතත්, එහි උරුමය කීමට තවත් වසර දහයක් ඉවසිය යුතුය.

ඔබේ ආඩම්බරයට ගෙවිය යුතු වන්දියක් තිබේ.

එය ආරම්භවන්නේ චීනයෙත් නැති, ලොවෙත් නැත ALIT නම් සමාගමකට ව්‍යාපෘතිය ආරම්භයේදි ගෙවූ බිලියන 2ක අත්තිකාරම සමගය. එය ඔබේ ආඩම්භරයේ පළමු වන්දියයි. එය සම්පූර්ණ ව්‍යාපෘතියේ වටිනාකමින් සියයට 10කට තරමක් ඉහළ වටිනාකමකි. ටෙන් පර්සන්ට්ය. ව්‍යාපෘතිය වෙනුවෙන් ලබාගත් ණය මුදල බිලියන 19කි. පෙර සඳහන් කළ වාෂ්පවන බිලියන 2ද එයින් ගෙවා ඇත්තේය. එම ණය පියවීමේ වාරිකය ලෙස කෝටි 240ක් එනම් බිලියන 2.4ක් ගෙවිය යුතු බව කියවේ. වසර දහයක් ගතවනතුරු ගෙවීමට නියමිතය.

ආඩම්බරයේ වන්දිය එතැනින් නතර නොවේ.

ALIT නමින් සමාගමක් නොමැති බව සොයාගන්නේ 2015 වසරේදීය. එනමුත් එම වංචාව සම්බන්ධයෙන් වසර 4ක් ගතවනතුරුම කිසිවක් සිදුනොවන්නේය. හෙට දවසේත් කිසිවක් නොවන බව නෙළුම් කුලුනේ තරමටම පැහැදිලිය.

අපේ ආඩම්බරයට වන්දියක් තිබේ.

ටිල්වින් සිල්වා නම් පුද්ගලයා අපේ ඒ ආඩම්බරයට නිගා දෙන කතා කියා ඇත. වංචා දූෂන නෙළුම් කුලුන හරහා සිදුවන බව කියා තිබේ. එය අපේ අභිමානය කෙලසීමකි. ⁣මහජන මුදල් කොල්ලාකෑවත් අපිට උදම් ඇනිය හැකි සංකේතයක් තිබේ. දීපාල් සිල්වාගේ ගීතයක කියන්නාක් මෙන් අපට බඩට නැතිවුනත් ලුණු කැට පයට ඕනමය විල්ලුද. එය නොතේරෙන ටිල්වින් කියූ පාහර කතාවට ටිල්වින් වන්දි ගෙවිය යුතුය.

ටිල්වින් එන්න. නෙළුම් කුලුනින් පනින්න.


වරුණ සුදන්ත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button