දේශීය

නෙළුම් කුළුණ අද සිට ජනතාවට

ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන මාවතේ විශිෂ්ටතම මංසලකුණක් සටහන් කරමින් අද (16)  දින ජනතා අයිතියට පැවරෙන නෙළුම් කුලුන ගැන ඔබ දත් නොදත් දේවල්….


නෙළුම් කුලුනට පැවරී ඇති ප්‍රධානතම කාර්යයක් වනුයේ රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේෂණ කුළුණක් ලෙස ක්‍රියා කිරීමයි. ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමක කොමිසම අපට පැවසූ පරිදි, ඒකීය සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ලෙස නෙළුම් කුලුන භාවිත කිරීමේ අරමුණ වන්නේ සියළු සම්ප්‍රේෂණ එකම ගුණාත්මක තත්වයක් යටතේ සියළු පාරිභෝගිකයන්ට එකවර විකාශනය කිරීමයි. මෙහි අතුරුඵලයක් ලෙස දැනට ක්‍රියාත්මක සම්ප්‍රේශකයන්ගේ මෙහෙයුම් ගාස්තුද අවම කර ගත හැක.

නෙලුම් කුලුනේ සිට විකාශය කිරීමේ ස්වාධින වගකීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය භාරගනු ඇත.

මීටර 215ක් (අඩි 705ක්) හා මීටර 219.8ක් (අඩි 721ක්) ඉහළින් ඇති නෙළුම් කුලුනේ පළමු හා දෙවන මහල් රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේශණ කටයුතු සඳහා භාවිත කරීමට නියමිතය.

නෙලුම් කුලුන හුදෙක් සම්ප්‍රේෂන මධ්‍යස්ථානයක් නොවේ. මහල් තුනකින් සමන්විත එහි පදනමෙහි (base) සුඛෝපභෝගී සාප්පු සංකීරණ, භෝජනාගාර හා කෞතුකාගාරයක් පවා අඩංගු වීමට නියමිත අතර කුලුනේ ඉහල ස්ථරයන්හි උත්සව ශාලා හා නැරඹුම් මැදිරියක්ද ඇත.

විදුලිසංදේශ නියාමක කොමිසමට අනුව, නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු කරන ලද්දේ චීනයේ ආනයන අපනයන බැංකුව මගින් ලබා දුන් ණය මුදලකිනි. මෙම ණය මුදල කුලුනෙන් ලැබෙන ආදායමෙන් ගෙවා දැමීමට නියමිතය.

වරකට 450 දෙනෙකු බැගින් රැඳවිය හැකි උත්සව ශාලා දෙකක් නෙළුම් කුලුනේ තෙවන (මීටර 219.8ක්/අඩි 721ක්) හා හතරවන (මීටර 224.6ක්/අඩි 737ක්) මහල්වල පවතියි.

සිය කක්ෂය වටා භ්‍රමණය වන (සරල භාශාවෙන් කියනවා නම් කැරකෙන බිමක් සහිත) ආපන ශාලාවක් මීටර 234.2ක (අඩි 768ක) උසකින් ඉදි කර ඇත.

මීටර 244ක් (අඩි 784ක්) ඉහළින් ඇති කුලුනේ හත්වන මහල රාජ්‍ය ආරාධිතයන් සඳහා වෙන්වූ අති සුඛෝපභෝගී කාමර කිහිපයකින් සමන්විතය.

මෙම නෙළුම් පෙතිවල රාමුව වානේ වලින් නිපදවා ඇති අතර පෙති වීදුරුවලින් නිමවා ඇත. වෙනස්වන වර්ණයන්ගෙන් යුත් එල්.ඊ.ඩී. බල්බ මෙම වීදුරු පෙතිවලට සවි කර ඇත.

වෙසක්, අවුරදු හා නත්තල් වැනි උත්සව සමයන්හි ඒ් ඒ් උත්සවයට ගැලපෙන වර්ණයන්ගෙන් මෙම නළුම් පෙති හැඩගැන්වෙනු ඇත.

විදුලි සංදේශ නියාමක කොමිසම විසින් නෙළුම් කුලුනේ සැරිසැරීම සඳහා උපකාරක mobile app එකක් නිර්මාණය වීමටද නියමිතය. මෙමගින් නෙළුම් කුළුණේ ඇති සිනමා හා ආපන ශාලා වල ආසන වෙන් කර ගැනීම යනාදිය පහසුවෙන් කර ගත හැක. තවද කුලුන ආශ්‍රිත විවධ උත්සව සහ සිදුවීම් (events) පිළිබඳ තොරතුරු මෙම app එක හරහා ඔබට ක්ෂණිකව දැන ගත හැක.

නෙළුම් කුලුනට ඇතුළු වීමට ටිකට් පතක් මිල දී ගැනීමට සිදුවන අතර එයට පැමිණෙන පවුල් සහ පාසැල් ශිෂ්‍යයන්හට සුළු මුදලක් ගෙවා ඇතුල් විය හැක.

මීටර 248.2ක් (අඩි 814ක්) ඉහළින් වූ කුලුනේ අටවන මහලේ ඇති නැරඹුම් මැදරියෙහි දුරදක්න සවි කර ඇත.

කුලුනේ ඉහළට ගමන් කිරීමට විදුලි සෝපාන අටක් ඉදි කර ඇත. මින් සෝපාන දෙකක් අධි වේගී සෝපාන වන අතර, දෙකක් සාමාන්‍ය වෙගයන් ගමන් කරයි. මන්දගාමී සෝපාන තුන බොහෝ දුරට සේවා කටයුතු සඳහා යොදැ ගැනේ. අධි වේගී සෝපානයෙන් පහත මාලයේ සිට නැරඹුම් මැදිරිය දක්වා ගමන් කිරීමට ගත වනුයේ විනාඩියකට වඩා අඩු කාලයකි‍.

නෙළුම් පෙති එල්.ඊ.ඩී. බල්බ වලින් ආලෝකමත් වන්නා සේම, කුලුනේ කඳ ද flood light මගින් ආලෝකමත් කරයි. මේ හේතුවෙන් රෑ කාලයේදී වුවද සැලකිය යුතු දුරක සිට නෙළුම් කුලුන දැක ගත හැකිවනු ඇත.

නෙළුම් කුලුන ආශ්‍රිත ප්‍රදේශයේම දෙවන අදියරක් සඳහාද සැලසුම් ක්‍රියාත්මකය. වාහන 2000ක් රැඳවිය හැකි භුගත රථ ගාලක් (underground parking lot), සියළු ආර්ථික මට්ටම්වල අය සඳහා නිමැවුණු සාප්පු සංකීර්ණයක්, ශරීර යෝග්‍යතා අංගනයක් (gym), පිහිනුම් තටාකයක් හා සිනමා ශාලාවක් මෙම දෙවන අදියරට අයත්ය.

ලෝකයේ දියුණු නගරවල පවතින පහසුකම් කොළඹ නගරයටත් ලබාදෙමින් ස්වදේශිකයන්ගේ ජනජීවිතය ඉහළට ඔසවා තබමින් දෙස් විදෙස් සංචාරකයන්ට සහ ආයෝජකයන්ට තෝතැන්නක් ලෙස පවත්වාගෙන යාමට මේ මහඟු නිර්මාණයට අනාගතයේදී හැකි වේවා යන්න රටේ දියුණුව පතන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ පැතුමයි.


තොරතුරු රෝර් මීඩියා සහ අන්තර්ජාලය ඇසුරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button