විදේශීය

මාධ්‍යවේදී රිල්වාන් මුහුද මැදදී ඝාතනය කරයි

මාලදිවයිනේ මාධ්‍යවේදී අහමද් රිල්වාන් අබ්දුල්ලා මුහුද මැදදී ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබේ. ආණ්ඩුවේ වංචා-දුෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කළ ඉදිරිපෙළේ මාධ්‍යවේදියෙකු වූ ඔහුව පැහැරගනු ලැබුවේ 2014 අගෝස්තු මාසයේදී ය. ඉස්ලාමීය සටන්කාමීන් විසින් මේ ඝාතනය සිදු කළ බව මීට පෙර සඳහන් විය. ආණ්ඩුවේ අවශ්‍යතාව මත ඔවුන් රිල්වාන් ඝාතනය කරන්නට ඇතැයි දැන් සැක පහළ වී තිබේ.

එහෙත් ජනාධිපති කොමිසමක් !

මාලදිවයිනේ ඝාතන සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම මගින් ඔහුගේ අතුරුදන් වීමෙන් වසර පහකට පසු මේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. රිල්වාන්ගේ ඝාතනයට සෘජුව සම්බන්ධ වූ පිරිසකගෙන් සාක්ෂි ලබා ගැනීමට හැකි වූ බවත්, ඔවුන්ගේ සාක්ෂි මත ඉදිරි විමර්ශන සිදු කරන බවත් කොමිසමේ සභාපති හුස්නු සූද් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර අනාවරණය කිරීම විමර්ශන වලට බාධාවක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

අලුත් කොමිසමේ වැඩ

අබ්දුල්ලා යමීන්ගේ පාලනය පසුගිය වසරේ අවසන් විය. ඉබ්‍රහිම් මොහොමඩ් සෝලි එරට නව ජනාධිපතිවරයා ලෙස පත් වූ අතර, ඔහු විසින් කළ මුලික කටයුතු අතර මේ කොමිසම පත් කිරීමද විය.

මෙහෙ වගේමයි !

කෙසේ වෙතත් රිල්වාන්ගේ ඝාතනය ඉස්ලාම් අන්තවාදීන් පිටින් තබා අවසන් කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බවට එරට මානව හිමිකම් සහ සිවිල් සංවිධාන චෝදනා කරයි. ඝාතනය සිදු කර ඇත්තේ අන්තවාදීන් වුවද, ඒ පිටුපස යමීන්ගේ ආණ්ඩුව සිටි බව පැහැදිලි යැයි ඔවුන් අවධාරණය කර තිබේ. සෝලිගේ ආණ්ඩුව මෙම අපරාධ වලට අදාළ විමර්ශන කඩිනම් කිරීම අගය කළ යුතු වුවද, ඇතැම් දේශපාලන ක්‍රියාකාරිකයන්ට ගැලවීමට ඉඩ ලබාදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ඔවුහු පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාලදිවයිනේ ඝාතන සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා පවසන්නේ අබ්දුල්ලා යමීන්ට එරෙහිව නඩු පැවරීමට මේ සිද්ධියේ කිසිදු සාක්ෂියක් නැති බවයි. රිල්වාන්ගේ ඝාතනය පිළිබඳව අදහස් දක්වමින් යමීන් හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ රිල්වාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත්, දේශපාලන පළිගැනීමක් ලෙස එම ඝාතනය තමන් පිට පැටවීමට උත්සහ දරන බවත් ය.

ආරක්ෂක කලාපයක රැකවරණය

සිය නිවස ආසන්නයේදී පැහැර ගැනුණු රිල්වාන්ව මාලදිවයිනේ සංචාරක පාරාදීසයක් වන හුල්හුමාලේ දුපතට ගෙන ගොස් ඇති බවත්, ඉන්පසු බෝට්ටුවකින් මුහුද මැදට ගෙන ගොස් ඝාතනය කර ඇති බවත් විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ. සංචාරකයන් බහුලව ගැවසෙන නිසා හුල්හුමලේ දුපත ආශ්‍රිත කලාපය යනු රජයේ ආරක්ෂක අංශ මගින් නිරන්තරව විමර්ශනයට ලක් කරන කලාපයකි. එවැනි තත්වයක් තුළ රිල්වාන් ඝාතනයට ලක්වීමත්, හුල්හුමාලේ ප්‍රදේශයටම ඔහුව ගෙන යෑමත් යමීන්ගේ ආණ්ඩුවට චෝදනාවට සාක්ෂියකි.

විමර්ශන වලට බාධා

මේ අතර මාලදිවයිනේ ඝාතන සහ අතුරුදන්වීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සභාපති හුස්නු සූද් මාධ්‍යයට පවසා තිබුණේ හිටපු ජනාධිපති යමීන්ගේ ආරක්ෂක උපදේශකයන් විසින් රිල්වාන් ඝාතනය පිළිබඳ විමර්ශන වෙනත් දිශාවකට හැරවීමට උත්සහ කර ඇති බවත්, පොලිස් විමර්ශන වලට බාධා කර ඇති බවත් කොමිසමේ විමර්ශකයන් තහවුරු කරගෙන ඇති බවයි.

බාධා කළ ඇමතිට උසස්වීමක්

2014 සැප්තැම්බර් මාසයේදී රිල්වාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතත්, ඔවුන් දෙදෙනා සතියක් තුළ නිදහස් වී තිබේ. එවකට සංචාරක කටයුතු පිළිබඳ ඇමති ධුරය දැරූ අහමද් අඩිබ් මේ පුද්ගලයන් දෙදෙනා නිදහස් කර ගැනීමට සෘජුව මැදිහත් වී ඇතැයි ද විමර්ශකයන් අනාවරණය කරගෙන තිබේ. එම සිද්ධියෙන් වසරකට පසුව ඔහු මාලදිවයිනේ උප ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ඇත.

රිල්වාන්ගෙන් පසු රෂීඩ් !

රිල්වාන්ගේ අතුරුදන් වීමට එරෙහිව දිගින් දිගටම සටන් කළ බ්ලොග් ක්‍රියාකාරිකයෙකු වූ යමීන් රෂීඩ්වද 2017 වසරේදී ඝාතනය කෙරිණි. රෂීඩ් ද යමීන්ගේ ආණ්ඩුවේ දුෂණ වලට එරෙහිව සටන් කළ අයෙකි. මේ සිදුවීම් දෙකම එකම කණ්ඩායමක් විසින් සිදු කර ඇතැයි තහවුරු වන බව කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් මාධ්‍යයට පවසා තිබේ.

සෝලිගේ පොරොන්දුව

යමීන්ට එරෙහිව රාජ්‍ය මුල්‍ය අක්‍රමිකතා යටතේ මේ වන විට නඩු පවරා ඇති අතර, සෝලිගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මුලිකම කරුණක් වුයේ යමීන්ගේ දුෂණ සහ අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි.


ශාලික විමලසේන(colombotrust.com ⁣වෙබ් අඩවිය ඇසුරින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button