දේශීය

නකල්ස් රක්ෂිතයේ නීති විරෝධී ජාවාරම් ජයටම

නකල්ස් අධි රක්ෂිතයේ හුදෙකලා වී ඇති ගම්මාන, ජලාශ, ඇළ දොළ, දියඇලි, ආශ්‍රිත රක්ෂිතයේ සංචාරක කර්මාන්තය මුවාවෙන් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය, වලලාපට්ටා හා දඩමස් ජාවාරම මෙන්ම ගණිකා ජාවාරමක්ද ක්‍රියාත්මක වනබව ප්‍රදේශවාසීහු පවසති.

මොරගහකන්ද සහ කළුගඟ ජලාශ ඉදිකිරීම සඳහා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නකල්ස් අධි රක්ෂිත කලාපයේ ගම්මාන හුදකලා වීමත් සමඟ මෙම අහඹු, නීති විරෝධී සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත වී තිබේ. එම ගම්මානවල අතහැර දමා ඇති නිවාස, ඇළ දොළ, අලංකාර ස්ථාන සියල්ලම මේ වනවිටත් විවිධ පුද්ගලයන් පැමිණ අත්පත් කරගෙන සංචාරකයන් ගෙනාවා ගැනීම සිදුකරමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

නකල්ස් අධි රක්ෂිත මායිමේ ජීවත් වූ ජනතාව කිසිඳු ආකාරයක පරිසර හානියක් සිදු නොවන ආකාරයෙන් ජීවත් වූවත් මේ වනවිට දේශීය සංචාරකයන් ඉලක්ක කරගෙන පිටස්තර පුද්ගලයන් නකල්ස් රක්ෂිතයේ ඇතැම් ස්ථාන අත්පත් කරගෙන මහා පරිමාණයෙන් පරිසරය විනාශ කරමින් සිටින බවත් ඇතැම් අවස්තාවන්හීදී නකල්ස් රක්ෂිතයේ දඩයමේ යාම විනෝදාංශයක් ලෙස සිදුකරන බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.

කළු ගඟ සහ බොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා තම භූමි ප්‍රදේශ ලබා දී පාරම්පරික පදිංචිකරුවන් එම ප්‍රදේශවලින් ඉවත් වීමත් සමඟ ඔවුන් මෙම ප්‍රදේශ අත්පත් කරගෙන තිබේ. මෙම මහා විනාශය පිළිබඳව ලග්ගල නකල්ස් අධි රක්ෂිත අඩවි වන නිලධාරී ඒ.වී.ඩී. අමරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රක්ෂිතය තුල විවිධ අපචාර ක්‍රියා සිදුවන බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඇතැම් ඉඩම් තවමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්පත් කර ගනිමින් සිටින බවත් ය. එමෙන්ම මේ වනවිටත් වනයට ඇතුළු වී හානි සිදුකොට ඇති විශාල පිරිසකට නඩු පවරා තිබෙන බවත් ඔහු සඳහන් කළේය.


කාංචන කුමාර ආරියදාස
(රැස පුවත්පත)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button