විශේෂාංග

රේරුකානේ චන්දවිමල, ධර්මසේන පතිරාජ, කාලෝ ෆොන්සේකා

අවසන් කටයුතු ගැන කතාවක්

උපන් ගමෙහි වේවා ඇසුරු කරන සමාජ ස්තරයේ වේවා මිනිසෙක් මැරුණු පසු අවසාන කෘත්‍යයට සහභාගි වෙන්නට මම හැකි සෑම උත්සාහයක් ම ගනිමි. ඒ කවර හෝ මිනිසෙක් සිය පරිච්ඡේදය අහවර කරමින් සමුගන්නේ සදහට ම යැ යි විශ්වාස කරන නිසාවෙනි. එකී පුද්ගලයා තවදුරටත් දැක්මක් නැති බැවින් කලෙක එනමින් සිටි පුද්ගලයාගේ අජිවී සිරුරට මගේ අවසන් ගෞරවය පුද කරමි. ලොව පතළ ටෙඩ් ටෝක්හි පළ වුණු වීඩියෝවක අන්තිම කැමැත්ත කෙබඳු යමක් දැ යි කළ කතාවක පරිවර්තනයක් පහුගිය දිනවල ‘ඇත්තෙ’හි ද පළ විය. එයින් ද කියැවුණේ අන්තිම කැමැත්තක් සම්බන්ධයෙන් මිනිසුන් සිය අවධානය කොතරම් යොමු කළ යුතු ද යන්න යි.

අයෙක් කිසියම් අන්තිම කැමැත්තක් ප්‍රසිද්ධ නොකර මිය ගියේ නම් ඔහුගේ මෘත කලේබරය සම්බන්ධයෙන් කරන කටයුතු ගැන කිසිවෙක්ට චෝදනා කළ නොහැකි බව අපගේ හැඟීමයි. මරණයෙන් පසු මෘතසිරුර සම්බන්ධයෙන් වග කියනා පිරිසගේ මතිමතාන්තර මියගිය පුද්ගලයා දැරූ ඒවාම වීම කෙසේවත් සිදු විය නොහැක්කක් බැවිනි.

එනමුත් අප මෙයට පෙරද සටහන් කර ඇති ආකාරයට මෙරට සිදුවන ඉතා අශෝභන කටයුත්තක් නම් මිය ගිය පුද්ගලයා අවසන් කැමැත්තක් සඳහන් කර තිබුණ ද එය නොසලකා කටයුතු කිරීමයි.

මේ කරුණු දෙකට ව්‍යතිරේකව තවත් කරුණක් තිබේ. එනම් ප්‍රසිද්ධියේ සිය ජීවත කාලයක් පුරා යම් මතවාදයක් දරා ඒ වෙනුවෙන් සටන් කරමින් සිටියදී හදිසියේ මිය ගිය අයෙකුගේ මෘතදේහයේ කටයුතු ඔහු දැරූ ආස්ථානයන්ට සපුරා විරුද්ධ අන්දමින් සිදුකිරීමයි. එය ඉතා කණගාටුදායක තත්වයකි. ඔහු සිය දිවිය කැප කළ කරුණු ගැන ඔහුගේ සමීපතමයන් කෙතරම් ලජ්ජාසහගත අන්දමින් නොදැන සිට තිබේදැ යි ඒ කරුණ අපට පවසන අනෙක් රහසයි.

පෙරකී සියලු ආකාරයේ අත්දැකීම්වලට මම මුහුණ දී ඇත්තෙමි. නාමික උදාහරණ කිහිපයක් දක්වාලිය යුත්තේ මේවා කොතැනක හෝ සටහන් කර තැබිය යුතු ද වන නිසා ය. සමාජවාදී ජනතා ව්‍යාපාරය නම් 80 දශකයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩී ගිය ප්‍රවණතාවකි. එය විවිධ කොන්දේසි යටතේ ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අද දක්වා අචල ප්‍රගතිශීලී ස්ථාවරයක් දරයි. එහි නායකත්වය දැරුවේ මාධ්‍ය ශාස්ත්‍රඥයෙකු ලෙස සැලකිය හැකි ප්‍රකට පරිවර්තකයෙකු දේශපාලන ක්‍රියාකාරික න්‍යායධරයෙකු වූ ජයතිලක ද සිල්වා සහෝදරයා ය. ඔහු මා දැනට දරන දේශපාලන ස්ථාවරය හැඩගස්වා ගැනීමටද බලවත් බලපෑමක් කළ අයෙකි. දැනට කලකට උඩ දී පෙරකී ව්‍යාපාරයේ ක්‍රියාකාරීව සිටි අයෙකු රිය අනතුරකින් මිය ගිය අතර ඔහුගේ අවමංගල්‍ය කටයුතු පැවතියේ බොරැල්ල ප්‍රසිද්ධ අවමංගල ශාලාවක ය. එහිදී දක්නට ලැබුණේ ඔහු දිවි ඇති තෙක් දරමින් සිටි ස්ථාවරයන් සහමුලින් කෙළෙසමින් අවසාන කෘත්‍යය සිදු කරන අයුරුයි. මේ සම්බන්ධයෙන් මගේ වික්ෂෝපය මම එයට සහභාගිව සිටි ජයතිලක ද සිල්වා සහෝදරයාට ද පළ කළෙමි. ඔහුද ඒ ගැන කතා කළේ කනස්සල්ලෙනි.

පසුගිය දිනෙක ජයතිලක සිල්වා සහෝදරයා ද සිය දිවිගමන නිමා කළ අතර චිරප්‍රකට භෞතිකාවාදියකුව හිඳිමින් මාක්ස්ගේ පසිඳු ‘ප්‍රාග්ධනය’ වෙළුම් සිංහලයට පරිවර්තනය කළ ඔහුගේ අවසන් කටයුතු ද ආගමික චාරිත්‍රානුකූලව සිදු කෙරිණි. අවසන් කටයුතු ගැන සඳහනක් නොකළ බැවින් එසේ වූ බවට සිතිය හැකි වුවත් ජීවිතාකාලයක් ඔහුව දැන සිටි අය මෙලෙස කටයුතු කිරීම ඔහුට කළ නිගරුවක් බව මම අද පවා විශ්වාස කරමි.

කෙසේ වෙතත්, මා දන්නා පරිදි සිය ජීවිතය ගත කිරීම සහ මරණයේ කටයුතු යන අවස්ථා දෙක ම ඉතා ගෞරවාර්හ ලෙස, දැරූ ආස්ථානයන්ට නිගරු නොවන ලෙස, සහ තුඩග රැව් දෙන ලෙස කිරීමට හැකියාව ලබා ගත්තේ කිහිප දෙනෙකි. ඒ අතර රේරුකානේ චන්දවිමල හිමියන්, ධර්මසේන පතිරාජ වැනි අය ඉහළින් සිටිති. ඒ අතරට මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද එක් වෙයි.

එන්.එම්. පෙරේරා වැනි අයෙක් (ස)මරා සැට නමකට දානය දෙන අනුගාමිකයන් සිටින සන්දර්භයක අන්තිම කැමැත්ත වැන්නක් පිච්චියකට මායිම් නොකිරීම මහා අමුත්තෙක් නම් නොවේ


සඳුන් ප්‍රියංකර විතානගේ

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close