දේශපාලන

දේශපාලන මගමානවක සංස්කෘතියක් නැවත අපේ රටට හඳුන්වා දියයුතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

දේශපාලන මගමානවක සංස්කෘතියක් නැවත අපේ රටට හඳුන්වා දියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (01) කොළඹ නව නගර ශාලාවේ පැවැති ‘ගම – රට කොළඹට’ ජවිපෙ පළාත් පාලන නියෝජිත හමුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසු මහජන නියෝජිතයො දිවුරුම් දීලා වැඩ පටන් අරගෙන දැන් වසර එකහමාරක් පමණ ගතවෙලා තිබෙනවා. නමුත් මේ වසර එකහමාර ඇතුළත ඔවුන් පිළිබඳව මාධ්‍ය තුළ කතාබහට ලක්වුණේ ගම සංවර්ධනය කිිරීම හෝ ජනතාවගේ බදු මුදලින් ජනතාවට සේවය කිරීම නෙවෙයි. මාධ්‍යවල වාර්තා වුණේ ඒ ජනතා නියෝජිතයන්ගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයි. ජනතාවගේ කලකිරීම සාධාරණයි. එජාපය කිව්වා, තමන්ට ආණ්ඩු බලය තිබෙන නිසා ගම සංවර්ධනය කරන්න පුළුවන්, ඒ නිසා පළාත් පාලන ආයතනවල බලය ඒගොල්ලන්ට දෙන්න කියලා. මහින්ද රජපක්‍ෂලා කිව්වේ, ගම සංවර්ධනය කරන කතාවක් නෙවෙයි. මහින්ද අගමැති කරන්න ඡන්දය දෙන්න කිව්වා. නමුත් ජවිපෙ අපි හැම කොට්ඨාසයකටම, හැම සභාවකටම වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ අනුව පහුගිය මැතිවරණයේදී ජවිපෙට ඉතිහාසයේ ලැබුණු වැඩිම පළාත් පාලන ආයතන ප්‍රමාණයක් ලබා දෙන්න ජනතාව කටයුතු කළා.

“පහුගිය කාලයේ එජාපයේ සහ මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමේ පළාත් පාලන නියෝජිතයො වැඩ කළේ කොහොමද? “කුඩු ජාවාරමට සම්බන්ධ පොදුජන පෙරමුණේ මන්ත්‍රී අත්අඩංගුවට, පොදුජන පෙරමුණේ මන්ත්‍රී හෙරොයින් සමඟ අත්අඩංගුවට, එම මන්ත්‍රීවරයා දිගන ජාතිවාදී ප්‍රහාරවලටත් සම්බන්ධයි, ජනතාව ඡන්දය දීලා පත්කරපු මන්ත්‍රීවරු කුඩු ජාවාරම්කාරයෝ, මන්ත්‍රී බලය පාවිච්චි කරලා මැරකම් කරනවා, පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගිනිඅවි සමඟ අත්අඩංගුවට, පොදුජන පෙරමුණේ කුරුණෑගල නගරාධිපති ගිනි අවි ළඟ තබා ගැනීම නිසා අත්අඩංගුවට, ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී වතුර පොම්පයක් හොරකම් කරලා, රජයේ වාහන අමතර කොටස් හොරා කෑ මන්ත්‍රී අත්අඩංගුවට, කාන්තාවකට ලිංගික අතවර කළ උදය ගම්මන්පිල පක්‍ෂයේ මන්ත්‍රී අත්අඩංගුවට.” වගේ දේවල් තමයි කියවුණේ. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර විතරක් නෙවෙයි බූරුවා ගහලත් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරු හිටියා. පොලිස් රාජකාරියට බාධා කළ එජාප මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත්තා. මේව තමයි මාධ්‍යවල වාර්තා වුණේ. ජනතාව දේශපාලනය ගැන කලකිරීම සාධාරණයි. පහුගිය කාලය පුරාවටම සදාචාරසම්පන්න මන්ත්‍රීවරු බිහිකළේ නැහැ.

“ජනතා විමුක්ති පෙරමුණේ අපේ මන්ත්‍රී කණ්ඩායම එවැනි කිසිදු චෝදනාවකට ලක්වුණේ නැහැ. ජනතාව ලබා දුන් ඡන්දයේ ගෞරවය ආඩම්බරයෙන් ආරක්‍ෂා කළා. එවැනි පිරිසකට විතරයි අපේ රට ගොඩනැඟීමේ කාර්යභාරය අතට ගන්න පුළුවන්. ජාතික ජන බලවේගය ලෙස ජනතා විමුක්ති පෙරමුණත් තවත් පාර්ශ්ව ගණනාවක් එක්ව අපේ රට ගොඩනැඟීමේ කාර්යභාරයට උරදී සිටිනවා. එහිදී ජවිපෙ පළාත් පාලන නියෝජිත නියෝජිතවරියන්ට පැවරෙන විශාල කාර්යභාරයක් තිබෙනවා. දේශපාන මගමානවක සංස්කෘතියක් නැවත අපේ රටට හඳුන්වා දිය යුතුයි. අපි මේ ආරම්භ කරන සටන දේශපාලන ජයග්‍රහණයකින් කෙළවර කළ යුතුව තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button