කලා

‘කූඹියෝ 02’ – 2020 දී

ටෙලිනාට්‍ය කලාව උඩු යටිකුරු කරමින් පසුගිය වසරේ විකාශනය වූ කූඹියෝ පුංචි තිරය හරහා විප්ලවීය වෙනසක් කළා. එහෙත් කිසි කෙනකුට කූඹියෝ අනුකරණය කිරීමට නොහැකි වීමද පුදුමයකි. ඒ වගේම සම්මාන පිට සම්මාන ගත්ත කූඹියෝ ගැන අහන්න හොඳම කෙනා තමයි එහි නිෂ්පාදකවරයා. ඔහු අසංක දොඩම්තැන්න. අසංක දොඩම්තැන්න කියන්නේ වෙන කවුරුත් නොව අපේ කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් ලෙස කිරුළ දිනා සිටින තුමිඳු දොඩම්තැන්නගේ සහෝදරයා වීමද තවත් විශේෂත්වයකි.

අසංක හදිසියේම ලංකාවට ආවේ කලා ක්‍ෂේත්‍රයේ ලොකු පෙරළියක් කරන්න වගෙයි?

මම පුංචි මිනිහෙක්. එහෙම පෙරළියක් කරන්න බැහැ. හැබැයි කූඹියෝ පුංචි තිරේ ලොකු පෙරළියක් කළා. ඉතින් තවත් විවිධ මාධ්‍ය තිබෙනවා. වෙනසකටත් එක්ක අත්හදා බැලීමක් එක්ක චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න හිතුණා. කූඹියෝ කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් ඒ නිසා නැවත ලංකාවට ආවා.

අපිට ආරංචියි කූඹියෝ රිදී තිරයටත් රිංගන බවයි. ඇත්තද මේ කතාව?

කූඹියෝ කවදාවත් චිත්‍රපටයක් කරන්නැහැ. විවිධ අය මට ආරාධනා කළා කූඹියෝ නම යොදාගෙන නිර්මාණයක් කරමු කියලා. එකම දේ විවිධ මාධ්‍යවලින් පෙන්වන්න මම කැමැති නැහැ. “කූඹියෝ 2” ටෙලි නාට්‍යයක් විදිහට 2020 නැවත නිර්මාණය වෙයි. අපි මේ කරන්නේ කූඹියෝ කණ්ඩායමත් එක්ක වගේම අලුත් පිරිසකුත් එක්ක එකතුවෙලා වෙනස්ම විදිහේ සිනමා නිර්මාණයක්. කූඹියෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නගේ තිර රචනයක් වගේම ඔහුගේ අධ්‍යක්ෂණයක් තමයි මගේ කුළුඳුල් චිත්‍රපට නිෂ්පාදනයත්.

සිනමාව ගැන ලොකු හැදෑරීමක් නැතිව අත්දැකීමක් නැතුව බයක් හිතුණේ නැද්ද චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න?

මෙහෙමයි, කලාවේ හැදුණු වැඩුණු පිරිසක් එක්ක තමයි මම අදටත් ජීවත් වෙන්නේ. මම කරන නිර්මාණය ගැන මට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඉතින් මම බය නැහැ. දේශපාලන කඹ ඇදිලි මාෆියාවත් නැතුවා නෙවේ. ඒ නිසා බයක් නැතුවා නොවේ. නමුත් මම හිතන්නේ අපි මේ දූපතේ කොටුවිය යුතු නැහැ. දූපතෙන් එහාට තිබෙන ලෝකවලටත් නිර්මාණ කළ යුතුයි.

ග්ලෝබල් මාකට් එකත් එක්ක අපේ නිර්මාණ තරග කළ යුතුයි. මම මේ චිත්‍රපටයට යොදවන මුදල් ලංකාවෙ හොයන්න පුළුවන්. නමුත් ලංකාවේ අවදානාත්මක දේවල් අරගෙන එතැනින් එහාට ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධතා පැවැත්විය යුතුයි. කූඹියෝ බංග්ලාදේශය, ඇමෙරිකාව, යුරෝපා රටවල ශ්‍රී ලංකා රසික රසිකාවියො රසවින්දා. එතැනින් එහාටත් මගේ නිර්මාණ පරිවර්තනය කරන්නයි අදහස. මිලියන 3කවත් රසික පිරිසක් අපේ නිර්මාණ රසවිඳින තත්ත්වයක් හදාගන්නයි මගේ උත්සාහය.

කොන් ආටිස්ලා කියලා ඔබ කූඹියෝ හරහා සමාජගත කළා. එය අදහස් කළොත්?

අපේ සමාජයේ වැඩි හරියක් ඉන්නේ කොන් ආටිස්ලා. අපේ සමාජය විතරක් නෙවේ දේශපාලනයත් එහෙමයි. හැබැයි ඊට වඩා එහා අපි දකින යථාර්ථය කූඹියෝ හරහා දැකපු කොන් ආටිස්ලා සමාජයේ දැක්කා. ජෙහාන් කරපු වැඩ සමහර අය කරන්න උත්සාහ කළා. තවත් සමහරු ජෙහාන් වෙන්න උත්සාහ කළා. අන්න ඒ වගේ කොන් ආටිස්ලා ඉන්න වැඩක් තමයි මගේ චිත්‍රපටය.

ඔබ නිර්මාණ කිරීමේදී එක රාමුවක එකම අධ්‍යක්ෂවරයකු සමඟ වැඩ කිරීමෙන් කොටුවීමක් සිදුවෙනවා කියලා හිතෙන්නැද්ද?

මෙහෙමයි. මම එහෙම කොටුවෙලා නැහැ. ලක්මාල් මගේ කූඹියෝ ටෙලිනාට්‍ය කළා. ඒ අතර බැඳුණු සහෝදරත්වය, සුහදත්වය මට වටිනවා. අලුත් පිරිසක් එක්ක වැඩ කරනවාට වඩා එය පහසුයි. අලුත් පිරිස එක්ක වැඩ කරන්නැහැ කියලා මම කියන්නේ නැහැ. ඉතින් මම ලක්මාල්ව දැනහඳුනා ගත්තේ මගේ මල්ලි තුමිඳු හරහා. ලක්මාල්ගේ දැකපු දක්ෂතාව නිසා මට හිතුණා ඔහු එක්ක චිත්‍රපටයක් කරන්න. ලක්මාල් මට පිටපත ලියලා දුන්නාට පසු මම හිතුවා කූඹියෝ වගේ හොඳ වැඩක් නිසා ඔහු එක්ක මේ වැඩෙත් කරන්න ඕනෙ කියලා.

තුමිඳු දොඩම්තැන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් ඔබේ සහෝදරයා එක්ක වැඩක් කරන්න අදහසක් නැතිද?

අයියයි, මල්ලියි එකතුවෙලා වැඩක් කරනකොට පහසුවක් තිබෙනවා. මගෙත් ලොකු ආශාවක් තිබෙනවා. මමත් කලාවේ හැදුණු වැඩුණු කෙනෙක්. ඒ ඇතිවුණු ආශාවත් එක්ක මම මල්ලිට කිව්වා නිර්මාණයක් කරන්න ආශාවක් තිබෙන බව. මම කලින් කිව්වා වගේ මට මල්ලි තමයි ලක්මාල්ව හඳුන්වලා දුන්නේ. ඉතින් මල්ලි හිතනවා ඇති තවම නිර්මාණයක් කරන්න සුදුසුම කාලයක් නෙවේ කියලා. සමහර විට ඔහුට දැනුම නැති වෙන්නත් පුළුවන් අධ්‍යක්‍ෂණය ගැන. ඉතින් මල්ලි දෙයක් කරමු කියපු දාට අපි දෙන්නා එකතුවෙලා වැඩක් කරනවා.


වසන්ත විතාරණගේ
(මව්රට පුවත්පත ඇසුරින්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button