දේශපාලන

වැලිකඩ සිද්ධියක් ගැන මං දන්නෙ නෑ….

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකුවන ගෝඨාභය රාජපක්ෂ

■ වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ සමූහ ඝාතන සිද්ධිය ගැන ඊට කලින් ඔබ දැනගෙන ඉඳලා තියෙනවා…?

නෑ.

■ ඔබ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් සමඟ මේ දවසේ කළ මෙහෙයුම ගැන සාකච්ඡාවක් කරලා තිබුණා…?

නෑ. මං එහෙම සාකච්ඡා කළේ නෑ.

■ මේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ ඒ ගැන සඳහන් වෙනවා…?

ඔය වාර්තාවෙ තියෙන්නෙ බොරු නෙ.

■ ඔබත් සාක්ෂි දෙන්න ගියානෙ…?

ඔව්.

■ මොනවද කිව්වෙ…?

කියන්න මං ඔය ගැන දැනගෙන හිටියෙ නෑනෙ.

■ එවකට ආරක්ෂක ලේකම්වරයා විදියට ඔබ දන්නෙ නෑ…?

නෑ. මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ.

■ අඩු තරමෙ ඊට පස්සෙවත් එහෙනම් දැනගන්න ඇති නෙ, විධිමත් පරීක්ෂණයක් කරන්න තිබුණනෙ…?

මං මොනවටද ඒවා කරන්නෙ. ඒවා කරන්න වෙනම ආයතන තියෙනවනෙ.

■ අඩු තරමෙ ඔබට මේ සිද්ධිය ගැන චෝදනා එල්ල වෙනවා කියලවත් දන්නවද…?

(දුරකථනය විසන්ධි කෙරිණි. ඉන්පසු ඇමතුම් ගත්තද ගෝඨාභය රාජපක්ෂ දුරකථනයට පිළිතුරු දුන්නේ නැත.)

2015 මාර්තු 22 දින ලියුම්කරු සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී වැලිකඩ බන්ධනාගාරයේ මේ සමූහ ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ අදහස් දැක්වූයේ මෙසේ ය.

■ වැලිකඩ සිරකරුවන්ට වෙඩි තියපු සිද්ධිය ගැන ඔබට දැන් මොනවද හිතෙන්නෙ…?

මට කිසිම දෙයක් හිතෙන්නෙ නෑ. මේවා සාමාන්‍ය ක්‍රියාන්විත. ඒවට ඇත්තටම මම මැදිහත් වෙන්නෙවත් නෑ. මම පොලිස් නිලධාරියෙක් වත්, හමුදා නිලධාරියෙක් වත් නෙමෙයි.

■ ඒත් ඔබ බලය අතික්‍රමණය කරපු අමාත්‍යංශ ලේකම්වරයෙක්…?

නෑ. ඕක දේශපාලන වාසියට කරන චෝදනාවක් විතරයි. මම ඔය වගේ සිද්ධියක දි කළේ මොකද වුණේ කියලා අහන එක විතරයි. ක්‍රියාදාමය කරපු අයයි වගකිවයුතු පුද්ගලයො.

■ එහෙනම් බන්ධනාගාරෙ ඇතුළට ගිහින් තෝරාගත් සිරකරුවන්ගෙ ඔළුවට වෙඩි තිබ්බා කියලත් ඔබ දන්නෙ නැතුව ඇති…?

එතැන තිබුණු බැරෑරුම් තත්ත්වය ගැන පිට අයට තේරෙන්නෙ නෑ. දැන් මිනිස්සු විශ්වාස කරන්නෙ අර දඬුවම් ලබපු හිරකාරයෙක්-දෙන්නෙක් කියන කතාව විතරයි.

■ එහෙම කියලා ඇසින් දුටු සාක්ෂි පැත්තකට දාන්න ඔබට බෑ…?

මම පරීක්ෂණ කරන්න කියන්නෙ ඒකයි. එතකොට ඇත්ත එළියට එයි නෙ.

■ ඔබේ කාලයේ මේ විදියට බන්ධනාගාර නීති, මානුෂීය නීති ඔක්කොම කඩලා හිරකාරයො මැරුවා. ඒ ගැන හරියට පරීක්ෂණ කළෙත් නෑ. ඔබ දැන් ඒක නිකම් කෙහෙල්කැන් කැපිල්ලක් ගාණට දාලා…?

ඕක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්.

■ ඔබ එතැන හිටියෙත් නැත්නම්, ඒ ගැන දන්නෙත් නැත්නම් කොහොමද වැරදි කතාවක් කියන්නෙ…?

මම හැමතිස්සෙම ගන්නෙ නිලධාරියගෙ පැත්ත. මාව එල්ලුවත් ඒක එහෙම තමයි. මම කවදාවත් හොරාගෙ පැත්ත ගන්නෙ නෑ.

■ වැලිකඩ දි, කටුනායක රොෂේන් චානක ඝාතනයෙදි, රතුපස්වලදි, හලාවත ධීවර ඝාතනයෙදි මේ හැමතැනදිම නිලධාරීන් වැරදි වුණත් ඔබ ඒ පැත්ත ගන්නවා…?

පරීක්ෂණයක් කරලා නිලධාරීන් වැරදියි කියලා ඔප්පු වෙනකම් මම ඒ පැත්ත ගන්නවා.

■ ආරක්ෂක අමාත්‍යංශයෙ හිටපු ලේකම්වරයා විදිහට ඔබට මේවගෙන් ගැලවෙන්න නම් බෑ, ඔබත් මේවගෙ කොටස්කාරයෙක්…?

නෑ. නිලධාරියෙක් යම්කිසි තැනකට ගිහින් වරදක් කළා නම් ඒකෙ වගකීම මම ගන්න ඕනෙ ද. නියෝගයක් විදිහට මිනිස්සු මරන්න කියලා නෑ. පාලනය කරන්න කියලයි කිව්වෙ.


ශාලික විමලසේන
(සත්හඬ පුවත්පත පවතින වකවානුවේ එහි පළවූ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button