විශේෂාංග

සහරා කාන්තාරයේ වැලිවලින් ජීවත්වන ඇමසන් වනාන්තරය

මේ ඔබ දකින්නේ මේ ග්‍රහලෝකයේ ස්වභාවික ජාල අතර පිරිනමනු ලබන ඉතාම අපූරු දානයක්….

නාසා ආයතනය වළාකුල් වල සිරස් ව්‍යුහය සහ එහි අංශු සැකැස්ම හදාරන්න 2006 වසරෙදි කක්ෂගත කරන ලද “කැලිප්සෝ” නම් චන්ද්‍රිකාවේ තිබෙන නම් Imaging Infrared Radiometer (IIR) පද්ධතිය Cloud-Aerosol Lidar with Orthogonal Polarization (CALIOP) නම් ලේසර් කදම්භය මඟින් වායුගෝලයේ වළාකුල් ආදී ස්ථර ආලෝකමත් කරලා, එයින් සුවිශේෂිත කැමරා පද්ධතියක් හරහා ගනු ලබන කියවීම් රූපමය වශයෙන් සකස් කර, ගත්තු ඡායාරූපයක් මේක (Processed Image – Computer Generated Image)…. වායු අංශු සහ ඩස්ට් පාටිකල්ස් වෙන් කර හඳුනා ගන්නා සුවිශේෂී සෙන්සර් පද්ධතියක් මඟින් මෙබඳු සුළං ප්‍රවාහ වල තියෙන දූවිලි අංශු පවතින රටාව ව්‍යුහයක් හැටියට ඡායාරූපයට ලබා දෙනවා….

මේකෙ පෙන්වන්නේ අප්‍රිකාවේ සහරා කාන්තාරයේ සිට, අත්ලාන්තික් සාගරයට ඉහළින්, වළාකුල් සහ සුළං ප්‍රවාහ ඔස්සේ විශාල දූලි ප්‍රමාණයක් ගසාගෙන යන ආකාරය….

සහරා කාන්තාරයෙන් යන මේ දූලි හෙවත් “සහරාන් ඩස්ට්” (Saharan Dust – බයවෙන්න එපා නම දැකලා) එක වසරකට මේ විදියට සහරාවේ ලතින් ඇමරිකාව දෙසට යන ප්‍රමාණය ටොන් මිලියන 182 ක්…. ඒ කියන්නෙ ආසන්න වශයෙන් වැලි ගෙනියන ටිපර් රථ ලක්ෂ 8 ක් පුරවන්න පුලුවන් දූලි ප්‍රමාණයක්….

මේ මහා දූලි ප්‍රවාහය වසර පුරාම අත්ලාන්තික් සයුරට උඩින් සුළඟේ සැතපුම් 1,600 ක් දුර ගෙවලා ගිහිල්ලා වැටෙන්නෙ ලතින් ඇමරිකාවේ බ්‍රසීලය ආදී රටවල් ආශ්‍රිත ප්‍රදේශවලට….

එයින් දූලි ටොන් මිලියන 132 ක් අහසේම වායු ප්‍රවාහ වල රැඳී සිට පසුව අනුක්‍රමිකව වෙනත් වායු ප්‍රවාහ හා මුසුවී ලතින් ඇමරිකාවේ වෙනත් කළාප වලට වැටෙනවා…. ටොන් මිලියන 43 ක් කැරිබියන් කළාපයට වැටෙනව….ටොන් මිලියන 27.7 ක් බ්‍රසීලයේ ඇමසන් ද්‍රෝණියේ ( වනාන්තරයද සහිත කළාපයේ ) තැන්පත් වෙනවා….

මෙසේ සුළඟ මඟින් අප්‍රිකාවේ සහරාවේ සිට ලතින් ඇමරිකාවට ගෙන එන දූලි වල අන්තර්ගතයෙන් 0.08% ක් වන්නේ පොස්ෆරස් නම් ඛණිජය…. ඔන්න මෙතැන් සිට හොඳින් අහගන්න මේකෙ තියෙන අපූරුම දේ….

ඇමසන් සදාහරිත වැසි වනාන්තරයේ ශාඛ වල පැවැත්ම අත්‍යාවශ්‍ය ඛණිජ සංඝටකයක් වන්නේ පොස්ෆරස්…. එය ශක්ති වාහක සෛල සංඝටක සඳහා සහ ඩී.එන්.ඒ ප්‍රකෘති තත්වයේ පවත්වා ගන්න උපකාරී වනවා…. ඇමසන් වනයේ ශාඛ වලට අවශ්‍ය පොස්ෆරස් එහි පසේම තිබුණා උනත්, වැසි වනාන්තර වල නිතර පාහේ ඇතිවන තද වැසි සහ ගංවතුර නිසා, මේ පසෙහි තිබෙන ඛණිජ ජල පහර වලින් ගසාගෙන මුහුදට යනවා….

එහෙම ගියාම ඇමසන් වනයේ පසේ පොස්ෆරස් ඌණතාවයක් ඇතිවෙනවා…. අන්න ඒ පොස්ෆරස් ඌණතාවය නැති කරන්නෙ, අර අප්‍රිකාවේ ඉඳලා අහසින් ඇවිත් වැටෙන කාන්තාර දූලි වල තිබෙන පොස්ෆරස්….

සුන්දරම දෙය වන්නේ ඇමසන් වනයේ ස්වභාවික පසෙහි තිබෙන පොස්ෆරස් එසේ වතුරට හේදිලා ගියාම, වනාන්තරයේ ගස් පවත්වා ගන්න අවශ්‍ය ප්‍රමාණයට හෙවත් අවශ්‍යතාවයට හරියටම ගැළපෙන පොස්ෆරස් සංචිතයක්මයි අහසින් ගෙනත් දාන්නෙ…. අඩුත් නෑ… .වැඩිත් නෑ….! ඇමසන් වනයේ වාර්ෂික පොස්ෆරස් අවශ්‍යතාව ටොන් 22,000 ක් පමණ…. සුළඟ මඟින් ඊට සැතැපුම් 1,600 ක් ඈතින් තියෙන අප්‍රිකාවේ සහරාවේ සිට ගෙනත් දාන පොස්ෆරස් ප්‍රමාණයත් ආසන්න වශයෙන් ටොන් 22,000 ක් පමණ….

එතකොට ඇමසන් වනය ජීවත් කරවන්නේ සහරා කාන්තාරය….

මීට වසර මිලියන 175 කට පමණ පෙර වෙන තෙක් මේ අද තියෙන මහාද්වීප සියල්ල එකතු වෙලා පැවති “පැන්ජියාව” කියන සුපිරි මහාද්වීපයේ අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව තිබුණේ එකට…. මේ ක්‍රමවේදය හැදෙන්නේ ඒ කාළයේ ඉඳලම ගුරුත්වාකර්ෂණය සහ චුම්භක ගෝලයේ ක්‍රියාකාරීත්වය මත නිර්ණය වුනු සුළං ප්‍රවාහ මඟින්. ඉතින් එදා එකට තිබිලා, පසුව ස්වභාවිකව කැඩිලා වෙන්වෙලා ගිහිල්ලත්, මේ කළාප අතර එදා තිබුණු අන්තර් ක්‍රියාකාරකම් එලෙසම පවතිනවා…. මේක මේ අයුරින් සැකසෙන්න හේතුව ලෙස විද්‍යාඥයන් අනුමාන කරන්නේ එයයි….

ඉතින් ඒක තමයි අප්‍රිකාවේ සහරාවෙන්, ලතින් ඇමරිකාවේ ඇමසන්ට ලැබෙන වාර්ෂික මහා දානය….!


දමිත් කේතක

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close