පුරවැසි කොළම

ඇල්ල ගිනි ගන්නවා නෙමෙයි…. ඇල්ලට ගිනි තියලා….

ඇල්ල රක්ෂිතය ගිණි ගන්නවද ! ඒක ගිනි ගන්නේ අද ඊයේක ඉඳන් නෙමෙයි. දැන් අවුරුදු ගණනක් තිස්සේ ඒක විටෙන් විට සීමාවක් නැතුව සිද්ධ වෙනව. ඒක ගිනි ගන්නේත් නෑ. ඒකට මිනිස්සු ගිනි තියෙනව.

ඇල්ල රොක් කියන්නේ අපේ රටේ දෙයක් නෙව. අපිට විශාල භූමි ප්‍රමාණයක් නෑ. තරමක් උස කන්දකට නැග්ගාම ඈත සිතිජයේ මුහුදු සීමාව දකින්න තරම් මේ රට හරි බොහෝම පුංචියි…. ඒ හින්දා ඇල්ල ගිනි ගන්න එක නිවන්න බැරි දෙයක් නෙමෙයි. තියෙන්නේ මිනිස්සුන්ට කිසිම ඕනේකමක් නැතිකමයි. මිනිස්සු ඒ ගැන කිසිම තැකීමක් නොකරන එකයි. දෙකෝටි හැට ලක්ෂයක මිනිස්සු ඉන්නව. අපිට එකතු වුණොත් මේ පුංචි භූමියේ කරන්න බැරි දෙයක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ අපේ කිසිම එකමුතුකමක් නැතිකමයි. අපි නිද්‍රාශීලි ජාතියක් වීමයි.

ඇල්ලට යන්න මහා ලොකු මහන්සියක් දරන්න උවමනා නෑ. දවස් ගානක් ගිනි ගන්න දෙන්න උවමනාත් නෑ. ඇල්ල එකම එක දවසකින් මැඩ පවත්වන්න පුළුවන් ගින්නක්….

ඒත් කවදාවත්ම ඒක සිද්ධ වෙන්නේ නෑ….

මම පසුගිය අවුරුදු කිහිපය ඇතුළේ ඇල්ල ගිනි ගන්න වාරයක් පාසා ඒ ගින්න වයඹට වෙලා නිවන්න උත්සාහ කළා. මට ඇල්ලේ ගිනි පුළිඟුවක් ඇවිලෙන්න හැදුවත් ඒ දේවල් ගැන තොරතුරු ලැබුණා. මට මධ්‍යම කඳුකරයත් එක්ක සම්බන්ධකමක් තිබුණා. ඒවායේ මගේ මතකයන් තිබුණා. ඒත් මට දැන් ඒ තොරතුරු ලැබෙන්නේ නෑ. (ඇරත් මම දැන් කිසිම සමාජ තොරතුරක් සමඟ කිසිම බැඳීමක් පවත්වන්න තරම් නිදහස් වටපිටාවක ඇත්තේ ද නැහැ)

ඒත් මගේ ගාව තියෙනව ඉස්සර ඇල්ල ගිනි ගන්නකොට මම කතා කරන ආයතන සහ ඒවායේ අංක කිහිපයක්..
Pray For Ella Rock කියලා අත පිහ දා ගන්නවට වඩා, පුළුවන්නම් මේ අංක වලට ඩයල් කරලා ඇල්ලේ ගින්න නිවන්න මැදිහත් වෙන්න කියන්න. ඇමසන් වල ගින්න නිවන්න මැදිහත් වෙන්න අපට බෑ. ඒ බැරිකම ඇතුළේ එන අසරණකම හින්දයි Pray For Amazonian කියලා අපේ පාර්ථනාවන් එකතු වෙන්නේ…. ඒත් ඇල්ල වෙනුවෙන් හුඩු හුළඟට බොල් බොළඳ පාර්ථනා කරනවට වඩා ඊට වැඩි දෙයක් කල හැකියාවක් තියෙනව.

පහත දුරකථනය අංක වල ඉන්නේ ඔබ සහ මම වෙනුවෙන් සේවය කරන නිළධාරින්. ඔවුන් අපට සේවය කරන්න බැඳී ඉන්නව. ඔබට පුළුවන් ඔවුන්ට, ඔවුන්ගේ වගකීම කුමක්ද කියා මතක් කරලා දෙන්න. දැන් ඉඳන් අමතන්න. ඇල්ල වෙනුවෙන් කතා කරන්න. ඇල්ල ගින්නට අහු වෙලා මැරිලා යන අහිංසක සත්තුන්ගේ හුස්ම පොද වෙනුවෙන් කතා කරන්න. ඔවුන්ට බල කරන්න. තදින්ම බල කරන්න. ඒ වෙනුවෙන් ඔබ කැමැති ඕනෑම වචනයක් පාවිච්චි කරන්න. එක්කෝ හොඳින් ! එක්කෝ නරකින් !

වනජීවි දෙපාර්තමේන්තුව :- 0112-888585
මධ්‍යම පරිසර අධිකාරිය :- 0117-877277
ඇල්ල ප්‍රාදේශීය සභාව :- 0572-228575
ඌව පළාත් සභාව :- 055-2222820
බදුල්ල පොලිස් ස්ථානය :- 055-2222222
Badulla Police Station OIC Mobile :- 071-8591511
OIC Division :- 071-8591508
SNR DIG :- 071-8591001
DIG District :- 071-8591001
දියතලාව ක්ෂේත්‍ර හමුදා කඳවුර :- 0572-229002
Diyathalawa Military Academy :- 057-2229071
ජනාධිපති ලේකම් :- 011-2354354
මහවැලි පරිසර අධිකාරිය :- 011-2684710

ප.ලි :- කළ යුතු දෑ දහසකුත් තිබියදී, තමන්ගේ රටේ, තමන්ගේ අත මායිමේ ඇති දේ වෙනුවෙන් කිසිවක් නොකර, ඒ ඒ වගකීම් සහිත ආයතන හා ව්‍යූහයන් ඔබේ බදු මුදලින් පෝෂණය කරමින් තමන්ගේ දේ වෙනුවෙන් වචනයක් කතා නොකර නියාළු ලෙස රැල්ලට Pray For Ella කියාගෙන සෝෂල් මීඩියා පුරවන කොන්ද පණ නැති ජාතියක් මේ රටේ ජීවත්ව හිඳීම ගැන මගේ සංවේගයත්, කණගාටුවත් පිළිගන්න.


සඳරු දසනායක


මෙම ලිපියේ මුල් ඡායාරූපය ලෙස යොදා ඇති කාන්තාවක් හිසට අත් දෙක තබාගෙන රූපය, 2018 වසරේදී ඇල්ල රක්ෂිතයේ ගින්නක් ඇතිවුණු අවස්ථාවේ ලබාගත් ඡායාරූපයකි. (මෙම ලිපිය පුවතක් නොවන නිසාත්, නිර්මානාත්මක ලියවිල්ලක් නිසාත් එම රූපය අප මෙම ලිපිය සඳහා භාවිත කළෙමු.)

2 Comments

    1. මෙම සටහන පුවතක් නොවන නිසාත්, නිර්මානාත්මක ලියවිල්ලක් පමණක් වන නිසාත් එම ඡායාරූපය අප භාවිත කළෙමු. ඔබගේ දැනුවත් කිරීමට ස්තුතියි. මේ පිළිබඳව අප මෙම සටහනේ සඳහන් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button