දේශීය

ගම්පහ මහ රෝහලේ ශල්‍යාගාර 6ම වසා දමයි

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි මධ්‍යම වායු සමීකරණය පද්ධතිය යළිත් වරක් අක්‍රීයවීමෙන් එහි ශල්‍යාගාර 6 ම වසා දැමීමට සිදු වී තිබේ.

මේ හේතුවෙන් පොරොත්තු ලේඛනයට අනුව පසුගිය 7වනදා සිදු කිරීමට නියමිතව තිබූ රෝගීන් 30 දෙනෙකුගේ පමණ ශල්‍යකර්ම නවතා දැමීමට සිදුව ඇත.

වසර 20 ක් පමණ පැරණි රෝහල් වායු සමීකරණය පද්ධතිය වරින්වර අක්‍රීයවීම මත මීට ටික කාලයකට පෙරද මේ ආකාරයටම සියලුම ශල්‍යාගාර වසා දැමීමට සිදුවීම මත සාමාන්‍ය වායුසමීකරණ සවිකොට ඇති නමුත් මින් ආසාධිත තත්ත්වයන් ඇති වියහැකි බව ශල්‍යාගාර කාර්ය මණ්ඩලය පෙන්වා දුන් අතර මධ්‍යම වායු සමීකරණය පද්ධතියක් අලුතින් ලබාදීම වෙනුවට පැලැස්තර විසදුම් ලබා දීමෙන් මෙවන් තත්ත්වයක් උදාවී ඇති බවද පැවසූහ.

පවතින මෙම අයහපත් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාව මගින් මාධ්‍ය දැනුවත් කිරීමක් කළ අතර මෙහිදී ශාඛා සභාපති වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතා කියා සිටියේ, රෝහල් ශල්‍යාගාර සදහා ඉතා අවශ්‍ය මධ්‍යම වායු සමීකරණය පද්ධතිය අලුතින් ලබාදීම වෙනුවට සාමාන්‍ය වායුසමීකරණ ලබාදීමෙන් ඵලක් නොවන බවය. රෝහලෙහි පවතින අයහපත් තත්ත්වය සොයා බැලීම සඳහා පසුගිය දිනෙක පළාත් ලේකම්වරයා, පළාත් සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන් පිරිසක් නිරීක්ෂණය කළද අවශ්‍යතා නිසි පරිදි ඉටු කිරීමට පියවර ගෙන නොමැති බවද සභාපති වරයා කීය .

මෙම රෝහලෙහි අඩුපාඩු රාශියක් පවතින බව මෙහිදී වෛද්‍ය සංගමයේ ගම්පහ ශාඛා උප සභාපති වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන් මහතා පැවසු අතර රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

ශල්‍යාගාර කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුම පවසා සිටියේ අසරණ රෝගීන් වෙනුවෙන් පවතින අවශ්‍යතා සපුරාලීමට කඩිනමින් පියවරගත යුතු බවය.

ශල්‍යකර්ම නවතා දැමීමෙන් පසුව සිදුවු අපහසුතාවය පිළිබඳව රෝගීහු කිහිප දෙනෙකුම අදහස් දැක්වූ අතර එක් රෝගී කාන්තාවක් පවසා සිටියේ තමන් ශල්‍ය කර්මයක් සදහා මාස එකහමාරක කාලයක් පොරොත්තු ලේඛනයේ සිටි බවය.

සතියකට දින දෙකක් රෝහලෙහි අක්ෂි ශල්‍යකර්ම 80 ක් පමණ සිදු කෙරෙන නමුත් පවතින මෙම අයහපත් තත්ත්වය හේතුවෙන් ඒ සියල්ලද නතර කිරීමට සිදුවනු ඇති බවද දැනගත හැකි විය.

ශල්‍යාගාර සියල්ල වසා දැමීමට සිදුවීම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියේ , මධ්‍යම වායු සමීකරණය පද්ධතිය අලුතින් සවිකරලීම සඳහා අදාල අංශ දැනුවත් කර ඇති බවත් ඒ සදහා කටයුතු සිදු වෙමින් පවතින බවත්ය.


තිලකරත්න දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button