සමාජ

උණට ඇස්ප්‍රීන් දෙන්න එපා…. මියයන්නත් ඉඩ තියෙනවා….

උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ පසුගිය දිනවල මෙම ඖෂධ භාවිතා කරන ලද රෝගීන්ගේ රෝගය උත්සන්නවීම් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවයි.

ඇස්ප්‍රින්, ඉබුප්‍රොෆෙන්, ඩයික්ලොෆිනැන් සෝඩියම් සහ මෙෆනමික් ඇසිඩ් වැනි ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ හෝ ස්ටීරොයිඩ් ගණයට අයත් ප්‍රෙඩ්නිසිලෝන්, මිතයිල් ප්‍රෙඩ්නිසිලෝන්, ඩෙක්සාමෙතසෝන් යන ඖෂධ උණ රෝගී තත්ත්වයෙන් පෙලෙන රෝගියෙකුට ලබා නොදිය යුතු බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

යම් හෙයකින් අදාල ඖෂධ භාවිතා කිරීමේදී රෝගීය ඩෙංගු රෝගියෙකු නම් රෝගය උත්සන්න වී මාරාන්තික විමට ද හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ වන විට ඇතැම් දිස්ත්‍රික්වල ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළ යෑමක් සිදුව තිබුණ ද නිරත දිග මෝසම් වර්ෂාව සක්‍රීයව පවතින බැවින් දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව එම මහතා පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button