පුරවැසි කොළම

කුමාරි අක්කාගේ ඛේදවාචකය

මේ සමාජය දැන් කුණු වී ඕජස් ගලන තුවාලයකි. වැගිරෙන දුගඳ ඕජස් රස බලන, මැස්සන් කැලක් බවට මහා ජනයා පත්ව සිටී.

කුවේට් හී කුමාරි අසරණ කාන්තාවකි. ජීවිත කාලයක් තිස්සේ ඇය විඳ ඇති කටොර අත්දැකීම් විසින් මානසික පීඩනයකට ලක්ව සිටින්නියකි. ඇයට ගීත ගායනය කිරීමට නොහැකි වුවත් රිසි සේ හඬ නැගීමෙන් ඇගේ දුක නිවා ගනිමින් සිටියාය. මිනිසුන් සමච්චලයට නගන ඝෝෂාව ප්‍රීති ඝෝෂාවක් සේ වරදවා වටහා ගත් ඇය ඉන් ප්‍රමෝදයට පත්ව ඉවක් බවක් නැතිව කෑ ගසන්නට පටන් ගති.

ඇගේ නොසරුප් වදන් වලින් සහ මුග්ධ ප්‍රකාශ වලින් කුණු රසයක් ලැබූ ඇතැමෙක් ඇයව උසි ගන්වමින් විනෝදයක් ලබන්නට පටන් ගත්තාය, ඒ සමගම සමාජයේ ඇතැම් දෙනෙකුගෙන් ඈ වෙත අනුකම්පාවක්ද හිමි විය. එය ඇයට මහඟු අස්වැසිල්ලක් විය.

ජනප්‍රසිද්ධිය ඈ වෙත හිමිවනු දුටු බොහෝ අවධානය දිනා ගැනීමට කැමති පිරිස් ඈ දඩ මීමා කොට ගෙන ප්‍රචාරයක් ලබා ගැනීමට පෙළඹුණි.

දැන් ඇය සමාජයට විහිලු සපයන විකාර රූපී මෙවලමකි. ඇගේ ගීත අසා වින්දනයක් ලබන්නට නොහැකි හෙයින් බහුතරය විනෝදයක් ලබති. සුළු ගණනක් දී කුමාරි අක්කා ගෙන්වා පෙන්වා එයින් ආතල් ගැනීමට බොහෝ දෙනා පුරුදුව ඇත.

සත්‍යයකි, නොබෝ දිනකින් ඇය මැතිවරණ වේදිකාවේ දැකිය හැකි වනු ඇත.

අම්බරු චන්ද දායකයන් වෙසෙන රටක ඔවුන් ගෙන්වා ගැනීමට තකතීරු දේශපාලකයින් ඈ භාවිත කිරීම තේරුම් ගත හැකිය. එහෙත් ඇතැම් කළා කරුවන් ඇගෙන් ආතල් ගැනීම පිළිකුල් සහගතය.

පොඩි ඇවිස්සීමකින් අනතුරුව ඇගෙන් පිටවන ඉවක් බවක් නැති වදන් වලින් කුණු රසය ගලා යයි. සමාජය ඒ දෙස බලා සිටින්නේ ටික කාලයකි. අනතුරුව මේ අහිංසක ගැහැණිය නුදුරු දිනයක දී කෙසෙල් ලෙල්ලක් මෙන් විසි කර දැමෙනු ඇත.

මේ නූගත්, අසරණ ගැහැණියගෙන් ආතල් ගැනීම දැනුම් තේරුම් ඇති මිනිසුන් ලෙස දැන්වත් නැවැත්විය යුතුය. අතීතයේ ගම් වල, මානසික රෝගී ගැහැණුන් ගේ රෙදි කොණෙන් ඇද, ඔවුන් අවුස්සා කුණුහරප වැලක් අසා ගෙන විනෝද වූ නසරානි කොලු කුරුට්ටන්ගේ තත්වයට මුළු සමාජයම පත්ව සිටී.

likes සහ views මිනුම් දණ්ඩ ලෙස ගත්විට ඕනෑම කුණුගොඩක් සඳහා වටිනාකමක් ඇතිවේ. හරය හෝ ඉහල රස වින්දනය තව දුරටත් නිර්නායකයන් බවට පත් නොවේ.
මේ පහත් රුචිකත්වය ඕපපාතික නොවේ. කලකට පෙර රියැලිටි වැඩසටහනකට පැමිණි අසරණ මන්ද මානසික තරග කරුවන් අවුස්සා ඔවුන්ගෙන් පිටවන නොසරුප් කථා සමාජයට මුදා හළ බවත්, ඒවායේ කුණු රසය සමාජගත වූ බවත් අපට මතකය.

ඊ ලඟට කුවේට් හී දිළිඳු, පීඩිත කාන්තාවක් දුරකථනයෙන් කියන කුණුහරුප රස විඳීමට මේ සමාජයට හැකි විය. එවැනි දේ සොයමින් සමාජගත කරණ අන්දමේ අවජාතක මානසිකත්වයක් බෝවී යමින් පවතී.

මෙහෙම ගියහොත්, වේදිකාව මත වීදුරු වැසිකිළියක් තනවා විවිධ කෝණ වලින් රු ගතකරමින් මළපහ කරන වේගය අනුව ජයග්‍රාහකයා තෝරණ රියැලිටි තරග වැඩි ඈතක නොවේ !.

ඔබේ දරුවන් හැදෙන වැඩෙන සමාජයේ යතාර්ථය බෙහෙවින් පිළිකුල් සහගතය.

අපේ සමාජය අනුගමනය කරණ පුරුෂාර්ථ ලොව ම්ලේච්චම ශිෂ්ඨාචාරයක් ඇති ගෝත්‍රික සමාජයකටත් වඩා අන්ත පහත් තත්වයට පත් වී ඇත.

මේ ව්‍යසනයෙන් ජාතිය බේරා ගැනීමට දැඩි නීති රීති පද්ධතියක් සකසා සමාජය සහ මාධ්‍යය ආරක්ෂා කර ගත යුතුය.

විද්වතුන් ඉදිරියට පැමිණිය යුතුය.


නාරද විජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button