කලා

නළු නිළියන් හා සිනමා ශිල්පීන්ගේ ‘හෙලුවැල්ල’ පෙනුණු මෙවර ජනාධිපති සම්මාන උළෙල

නළු නිළියන් හා සිනමා ශිල්පීන්ගේ ‘හෙලුවැල්ල’ පෙනුණු මෙවර ජනාධිපති සම්මාන උළෙල

ලෝකයේ ප්‍රභලතම දෘශ්‍ය හා ශ්‍රව්‍ය මාධ්‍ය සිනමාවය. අන් සියලු දෘශ්‍ය, ශ්‍රව්‍ය මාධ්‍යයන් පැමිණියේ සිනමාව හරහාය. විනෝදාත්මක මාධ්‍යයක් ලෙස මුලින්ම සිනමාව පැමිණියද, එයින් ලබන දැනුම, හෝ ආදර්ශයන් කෙසේ වෙතත් තවමත් එය සළකනුයේ විනෝදමාධ්‍යයක් ලෙසටමය.

ලෝකයේ අද ප්‍රබලව තාක්ෂනය නැගී සිටියි. මේ තාක්ෂණය සිනමාව හා බද්ධ වී විශ්මිත දේ මිනිසාට ලබා දෙයි. 3D සිට 10D දක්වා තාක්ෂණය ව්‍යාප්ත විය. අද මේ තාක්ෂණයන් උපයෝගි කර ගෙන එකිනෙක පරයන චිත්‍රපට නිර්මාණය කරයි. මෑතකදී ලංකාවේ 3D තාක්ෂණයෙන් තිර ගත කළ හොලිවුඩි චිත්‍රපටයක් වූ ‘ඇලඩින්’, ‘ඇවෙන්ජර් එන්ඩ් ගේම්’, මෙන්ම දැං තිරගත වන ‘ලයන් කිංග්” චිත්‍රපටද එයට හොඳම නිදසුනකි.

සිනමාව අද ලෝකයේ ප්‍රබලතම මාධ්‍යයක් වී ඇත. විශේෂයෙන් ඇමරිකාවේ හා ඉන්දියාවේ මේවා දැවැන්තම කර්මාන්ත බවට පත් වී ඇත.

ලෝකයේ විවිධ රටවල මේවා අගය කිරීම වස් දැවැන්ත සම්මාන උළෙලවල් නොකඩවා වාර්ෂීකව සංවිධානය කෙරේ. එක් අවුරුද්දක සම්මාන දුන් පසු, එතැන් සිට අනෙක් අවුරුද්දේ සම්මාන උළෙල සංවිධානය කිරීමට පටන් ගන්නේ, මෙම චිත්‍රපටවලට පණ දෙන කලාකරුවන්ට ගෞරවනීය ලෙස හැකි තාක් සාධාරණව අගය කිරීමටය.

අප රටේද සම්මාන උළෙලවල් පවත්වයි. හැටේ දශකයේ මැද භාගයේ අප මුල්ම සම්මාන උළෙල පැවත්වීය. ඒ ලේක් හවුස් ආයතනයේ ‘සරසවිය’ සිනමා පුවත් පත හරහාය. එය එක දිගට ටික කාලයක් පවත්වා, ‘දඩස්’ ගා නතරවිය. ඉන් පසු අවුරුදු 10කට පමණ පසු යලි පටන් ගෙන, අනුග්‍රහයෙක් ලැබුණොත් කරමු, නැත්නම් අනුග්‍රාහයෙක් ලැබුණු අවුරුද්දක එතෙක් සම්මාන නොදුන් අවුරුදු කීහිපයම එකතු කර දෙමු යැයි යන න්‍යායට අනුගත විය. අනුග්‍රාහයෙක් නැතිවුවහොත් ලේක් හවුස් එකට ඕවට වියදම් කරන්න සල්ලි නැති නිසා, අපි ඒ ගැන කම්පා නොවෙමු.

ඉන් පසු පැමිණියේ ජනාධිපතිව ප්‍රමෝට් කිරීමේ උළෙල හෙවත් ජනාධිපති සම්මාන උළෙලකි. ඒකත් මරු ‘කන්සෙප්ට්’ එකකි. සම්මාන ගන්නේ නළු නිළියන්ය. එ්ත් ප්‍රමෝට් වෙන්නේ ඒ ඒ කාලවල සිටින ජනාධිපතිවරුන්වය. නළු නිළියෝද ජනාධිපතිවරුන් ඉදිරියේ හතරට පහට නොව හයට හතට නැමෙන හැටි දැක්කාම ආසාවේ බැරිය. මේ ජනාධිපති සම්මාන උළෙලවල් වල මුඛ්‍ය අරමුණ වන්නේ මොකක්දැයි නම් තවම හරි හැටි වැටහෙන්නෙ නැත. අරමුණු කෙසේ වෙතත් වයසක ජනාධිපතිවරු, අගමැතිවරු,මෙන්ම අවුරුදු 70පැන්න වයසක මැති ඇමැත්තන්ටද, සමිමාන දෙන ගමන් හිරිමල්, සුන්දර ගැස්සෙන, පැද්දෙන නිළි ගැටිස්සියන්ගේ සියුමැලි, හුරතල් ඇඟිලි මිරිකීමේ චාන්ස් එක් ලැබෙන බව නම් කිවයුතුමය. ඒක වෙනම ‘ආතල්’ එකකි.

මේ ජනාධිපති සම්මාන උළෙලවල්ද ‘දඩාස්’ ගා නවතී. උන්නු උන්නු ගමන් ඒවා අරලිය ගහ මන්දීරය ඇතුලේ, එහෙම නැත්නම් ජනාධිපති මන්දීර ඇතුලෙත් තියයි. නළු නිළියොත් ‘හාල් කෑලි’ වගේ අතනට එන්න කිව්වාම එතන්ට යයි. මෙතෙන්ට එන්න කිව්වාම මෙතනට යයි. නිළියන්ට නම් සම්මාන නැතත්, සැලුන් එකකට ගිහිං හැඩ වැඩ වී ඕන මන්දීරයකට ගිහිං තම තමන්ගේ රුව ටීවී වල, පත්තර වල වැටුනොත් ඇතිය.

එක වරම දඩස් ගා නවතින මේ ජනාධිපති සම්මාන උළෙලවල් නැවත පන ගැන්වෙන්නේ ජන්දයක් කිට්ටු වෙන කාලෙකය. එතකල් ආණ්ඩුවට, සිනමාවක් තිබේද, චිත්‍රපට පෙන්නනවාද, නළු නිළියෝ, අධ්‍යක්ෂක වරු, කාර්මීක ශිල්පීන් සිටිනවාද කියා වගේ වගක් නැත. 1979 දී පටන් ගත් ජනාධිපති සම්මාන උළෙල 1985 වන තෙක් ඇදන් ආවේය. නරකම නැත . අවුරුදු 6ක් එකදිගට කළා කියන්නෙත් මාරයිය. එතැනින් පසු යලි ජනාධිපති සම්මාන උළෙලක් තිබ්බේ 2015 දීය. අව්රුදු 30ක්ම ජනාධිපති සමිමාන උළෙලවල් නැත. 2015 වෙ කොහොම කොහොම හරි තබා ගත්තද, එතැනින් පසු ආයේ නතර විය. ඉන්පසු 2016, 2017, 2018, ජනාධිපති සම්මාන උළෙලවල් නැත. රජයට අනෙක් කුණු කෙහෙල්මල් වලට වියදම් කරන්නට සල්ලි තිබ්බට, ලාංකේය සිනමාව වෙනුවෙන්, දක්ෂයන්ව අගය කරන්නට සල්ලි නැත. ඒවා සතුටින් භාරගත්තේ ලංකාවේ තුට්ටු දෙකේ චැනල් වූ ‘හිරු’ හා ‘දෙරණ’ය. උං සම්මාන දීගත්තේ උංට කඩේ යන උංටමය. දුලිකා මාරපනද රෙදි ගලව ගත්තේ එහෙවි චැනලයකින් කළ සම්මාන උළෙලකදීය.

දැං ජනාධිපතිවරනය අත ලඟය. හරි හදිසියේම ජනාධිපති සම්මාන උළෙලක් පවත්තන්නටත්, එය පහුගිය අවුරුදු 3නම අල්ලා පවත්තන්නටත් ඔවුන් ලක ලෑස්තිවිය. එහෙන් මෙහෙන් අටවා ගත් විනිශ්චය මණ්ඩලයක්ද විය. අවුරුද්දකට චිත්‍රපට 25 ක් පමණ යයි ගණන් ගත්තොත් අවුරුදු 3ටම චිත්‍රපට 75ක් පමණ ඇත. එක දිගට විනිශ්චය මණ්ඩල විසින් චිත්‍රපට නැරඹුවේද?. ඔහේ කොහොම හරි නැරඹුවා ඇතැයි සිතමු. ක්ෂනිකව ඔවුනට මේ සියල්ල තීරණය කළ යුතුය. ජනාධිපතිට, පක්ෂ වලට, රජයට, කඩේ යන අය වෙනමම තෝරා ගත යුතුය. ජාත්‍යන්තර සම්මාන ලබපු අයට නම් සම්මාන දිය යුතුමය. නැත්නම් විනිශ්චය මණ්ඩලයේ ප්‍රමිතිය, ජාත්‍යන්තර තලයට සමාන කිරීමට නොහැක. අපි කොහොමද සෙකන්ඩ් වෙන්නේ යන අදහස ඔවුනට එ්ම වැලැක්විය නොහැක. එහෙයින් සම්මාන වලින් බහුතරයක් එසේ ජාත්‍යන්තර සමිමාන ලැබූ ඒවාට දිය යුතුය.

මෙවර බහුතර සමිමාන දිනා ගත්තේ ‘දැවෙන විහඟුන්ය’. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය ඒ සියල්ලම ගියේ ‘දැවෙන විහඟුන්ටය. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනයේ ප්‍රධාන අමුත්තා වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. එදින මටද ආරාධනා පතක් ලැබී තිබුණි. චිත්‍රපටය පටන් ගැන්මට ප්‍රථම ශාලාවෙ සිටියෙදීම මට නිකමට හිතුනේ යම් හෙයකින් ජනාධිපති සම්මාන උ⁣ළෙලක් තිබුනොත් අනිවාරයෙන්ම සම්මාන බහුතරය සංජීව පුෂ්පකුමාර ඇතුළු ඔහුගේ කන්ඩායමට යාවි කියාය. එම සිතුවිල්ල මට ආයේ චිත්‍රපටය පටන් ගැන්මට ප්‍රථම සංජීව, ජනාධිපතිතුමා සමඟ හරි හරියට වාඩිවි සිටිනවා දුටු පසුවය.

බොහෝ කාලයක් නිහඬව කළ එළියට නොබැසූ ස්වර්ණා මල්ලවආරච්චිල දැං හැම සම්මාන උළෙලකටම පාට පාට සාරි ඇඳගෙන කැපී පෙනෙන්නට පටන් ගෙන තිබුණි. දැං එය ෆැෂන් එකක් බවට පත් වී ගෙන එයි. ඕනෑම සිනමා සම්මාන උළෙලක මුල් පුටු පේළියේ ස්වර්නා මල්ලවආරච්චි, කෝල සිනා පාමින් සිටිය යුතු යැයි නියමයක් පැවතුනා සේම ඇයට මොකක්⁣ හෝ සම්මානයකුත් ලැබිය යුතුමය යන නියමයක්ද හැදී ඇත.

විනිශ්චය මණ්ඩල වලට තිබු තවත් ප්‍රශ්නයකි, කෙසේ හෝ සම්මාන කීපයක් ජැක්සන් ඇන්තනී , ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා සඳහා වෙන් කිරීම. එයද දැං ‘ෆැෂන්’ එකක් වී ඇත. ගියවර දෙරණ ජැක්සන්ට දුන්නේ ජනප්‍රිය නළු සමිමානයයි. එහෙත් ජැක්සන්ට දිය යුතුව තිබුනේ නම්…. (එක්කො ඕනෙ නැත. ඕන දෙයක් හිතා ගන්න)

රෝද පුටුවලින්, වයෝවෘද්ධ කලා කරුවන්ව වේදිකාවට ගෙන්වා ජනාධිපතිතුමා අතින් සම්මානයක් හා මුදල් සොචිචමක් දීමත්, ඔවුන් වේදිකාවට එනවිට නළු නිළියෝ සියල්ලම නැගිට, ස්ටයිල් එකට ඇහේ කදුලු බිදුවක් ටිෂු කොළෙකින් පිසීමද දැං ‘ෆැෂන්’ එකක් වී ඇත. එහෙත් මෙම වයොවෘද්ධ කලා ශිල්පින් මිය ගිය විටනම් කනත්තේදී ඔවුන්ගෙ රසික රසිකාවියන් හැරෙන්නට ඔය එකදු නළු නිළියෙක්ව නම් දකිනවා බොරුය.

සංස්කෘතික අමාත්‍යංශය බාරව සිටින්නේ සජිත් ප්‍රේමදාසටය. ලඟ එන ජනාධිපතිවරණයටද සජිත් ගේ නම, කියවෙයි, නොකියවෙයි හා යලි කියවෙයිය. හදිසියේම අවුරුදු තුනක් එකතු කර ජනාධිපති සමිමාන උළෙලක් පැවැත්වීමේ වැඩි බරක් ගත්තේ සජිත්ගේ සංස්කෘතික අමාත්‍යංශයය. මෛත්‍රි හා සජිත් අතර නිසි ආරවුලක් නැත. මේ සම්මාන උළෙල දෙදෙනාවම එක වර ප්‍රොමෝට් කර ගන්නා ව්‍යපෘතියකි. තනිකරම දේශපාලන කැම්පේන් එකකි. එයට හැමදාම අහුවෙන්නේ නළු නිළියන් ඇතුළු කාර්මීක ශිල්පීන්ය. දේශපාලකයන්ට දැන් නළු නිළියන්ට අන්දවන්ට උවමනා නැත. රෙද්ද පෙන්නූ ගමන් නළු නිළියන්ම කපා මහගෙන ඇඳ ගනී.

ඉතින් , මෙවන් දේශපාලන කැම්පේන් උළෙලවල් වලට එන හා සම්මාන ගන්නා නළු නිළි, කාර්මික ශිල්පීන් මොන තරම් සුන්දරව, ස්ටයිල් එකට ඇඳ ගෙන ආවත් පිටත සිටින අය දකින්නේ ඔවුනගේ ‘හෙලු වැල්ල’ නොවේද?


ශෝන් මැක්ස්මස් දිසානායක

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button