දේශීය

වීරකන්ද ජල පෝශක රක්ෂිතයත් වනසයි

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යනු නිවර්තන සදාහරිත වනාන්තර කීපයකටම හිමිකම් කියන්නා වූ ජෛව හා පරිසර පද්ධති විවිධත්වයෙන් පොහොසත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වේ. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට විශාල වශයෙන් කටුපොල් වගාව නිසා තර්ජන එල්ල වෙමින් පවතින අතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළද කටුපොල් වගාව සඳහා විශාල රක්ෂිත ප්‍රදේශයක් විනාශ කරමින් පවතී.

පුස්වැල් ඇතුළු වටිනා වැල් වර්ග කපා, මහා ගස් කැලයේ තැනින් තැන කපා දමා ඇති අයුරු

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 849-F වීරකන්ද ග්‍රාමසේවා වසම තුල උතුරින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්කන්ද රක්ෂිතයට මායිම්ව ඇති ඉතා වටිනා ජල පෝශක කලාපයක අක්කර 40ක පමණ විශාල වනාන්තර භූමියක් බැකෝ යන්ත්‍ර සහ යාන්ත්‍රික කියත් යොදාගනිමින් නමුණුකුල (ARPICO) වැවිලිසමාගම විසින් කටුපොල් සිටුවීම සඳහා විනාශකරමින් පවතී.

වටිනාකමින් ඉහල මෙන්ම දේශීය වශයෙන් දුර්ලභ ආරක්ෂිත ශාකයක් වන විශාල වල් දෙල් ශාක සහ වටිනාකමින් එයට නොදෙවනි වීශාල පුස් වැල් රාශියක් සමගින් විශාල ශාක ප්‍රමාණයක් කපා බිම හෙලා ඇත. එමගින් මෙම පරිසර පද්ධතිය තුළ වෙසෙන ගෝනුන්, ඌරන්, කැබැල්ලෑවන්, ඉත්තෑවන් වැනි සතුන් හට මෙන්ම මෙම භූමියේ දෙනි ආශ්‍රිතව වෙසෙන උභය ජීවින්ට විශාල තර්ජනයක් එල්ල වන බවත් එම ප්‍රදේශය මීවන ශාක සහ විශාල වටිනාකමක් ඇති ඖෂධ පැළැටි වලින් ගහන වනාන්තරයක් බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

තවද මෙම ජල පෝශක කලාපයෙන් ආරම්භවන දොළ පහරටද මේ වන විට මෙම වන හායනය දැඩිලෙස බලපෑ ඇත. එමෙන්ම ගම්වාසීන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරා ගැනීමට භාවිතා කරන මෙම දොළ මාර්ගය සිඳී යාමේ තර්ජනයට ලක්ව ඇත. තවද වීරකන්ද නායයෑම නිසාවෙන් හානියට පත්වූ පවුල් නැවත පදිංචිකර ඇත්තේද මෙම ජල පෝෂකය පාමුල භූමියේ වන අතර මෙලෙස සිදුවන වන හායනය නිසාවෙන් මෙම ප්‍රදේශයේ නාය යෑමේ අවදානම වැඩිවීමේ ප්‍රවනතාවයක්ද පවතී. එමෙන්ම පසුගිය වසර දෙක පුරාවට කටුපොල් වගාව සඳහා වීරකන්ද ප්‍රාථමික විද්‍යාලයට ජලය ලබාගන්නා ජල පෝශකය එලි කිරීම හේතුවෙන් මේ වන විට එම විද්‍යාලයේ දරුවන්ගේ ජල අයිතියද උදුරාගෙන ඇති බවට ප්‍රදේශවාසීන් පවසයි. දිගින් දිගටම මෙසෙල වනාන්තර ප්‍රදේශ කටුපොල් සඳහා එලි කීරීමේ ප්‍රථිඵල සෙල වර්ථමානය වන විට සුලු නියඟ කාලයට විශාල ලෙස ජලය හිඟ වන බව ඔවුන් පවසයි.

වනාන්තරය මැද ගස් කපා එළිකර ඇති අයුරු

වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය මේ පිළිබඳව සොයා බැලීමේදී දැන ගැනීමට හැකි වූයේ මෙම වන හායනය සඳහා කිසිඳු අනුමැතියක් අදාල සමාගමේ වතු අධිකාරිවරයා ලබාගෙන නොමැති බවය. මේ පිළිබඳව දැනුවත් කරමින් අප සංවිධානය විසින් පරිසර අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන ගණනාවකකට ලිපි මඟින් දැනුවත් කර ඇති අතර එහිදී මූලික වශයෙන් මෙම අනවසර වන හෙලීම සම්බන්ධව වහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා සෙලත් මෙම අක්කර 40 ක ජලපෝෂකය “පරිසර සංවේදී කලාපයක්” ලෙස නම්කර ආරක්ෂා කරදීමට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිතයකට යාබදව ඇති බැවින් අදාල ප්‍රදේශය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන තම රක්ෂියට ඈඳීමට අදාල කටයුතු කිරීමට කටයුතු කරන ලෙසටත් දන්වා ඇත.

වනාන්තරය තුල සහ වනාන්තරයේ බෑවුම්වල කටුපොල් වවා ඇති ආකාරය

මෙම වටිනා සංවේදී කලාපය රැක ගැනීම මෙන්ම ශ්‍රීලංකාව තුළ නැවත කටුපොල් සිටුවීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බැව්න් එවැනි අවස්ථාවන් වලදී ඒ සඳහා විරුද්ධව කටයුතු කිරීමද අප සියළු දෙනාගේම වගකීම වේ. එබැවින් මේ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු අතර ඒ සඳහා සියළු දෙනා එක්විය යුතුය.


පේශල පසන් කරුණාරත්න
වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button