දේශීය

සිංහරාජයේ අක්කර 8ක් විශ්‍රාමික හමුදා නිළධාරියෙක් එළිකරයි

යුද හමුදාවේ විශ‍්‍රාමික කර්නල්වරයෙකු ලෙස පැවසෙන ජයවිලාල් ප‍්‍රනානාන්දු නැමැත්තාගේ පානීය ජල බෝතල් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා සිංහරාජ වැසි වනාන්තරයේ රක්වාන නැගෙනහිර කඳුවැටියේ මානික්කවත්ත, බෝටියතැන්න හඳපාන්ඇල්ල භුමියේ අක්කර අටක ප‍්‍රමාණයක් පෞද්ගලික ඉඩමක් බව පවසමින් ගිනි තබා, ගල් පෙරළා අනවසරයෙන් එළිපෙහෙළි කර තිබේ.

මෙලෙස ගිනි තබා විනාශ කර ඇත්තේ සිංහරාජයේ ජීවත්වන වන අලින් දෙදෙනා වසරේ වැඩි කාලයක් වාසය කරන සහ දෙල්වල වලන්කන්ද රක්‍ෂිතයටත් පන්විල දෙසටත් සංක‍්‍රමණය වීමේදි අලිමංකඩක් ලෙස භාවිතා කරන ප‍්‍රදේශයකි.

මේ සම්බන්ධයෙන් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත ජයසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ තමන් ඇතුළු කණ්ඩායමක් මෙම ප්‍රදේශය නිරීක්ෂණය කළ බවත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ පුද්ගලයා සමග දුරකථනයෙන්ද සම්බන්ධ වූ බවත් ය. එහිදී ඔහු තමන් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශ‍්‍රාමික කර්නල්වරයෙකු බවට හඟඳුන්වා දුන් බවත් ඔහු මෙවැනි ව්‍යපෘතියක් ඉදිකිරීම සඳහා හෝ හායනය සම්බන්ධයෙන් කිසිදු අවසරයක් ගෙන නොමැති බවත් සඳහන් කළ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත ජයසිංහ මහතා….

“මෙය සුවිශේෂී ජෛව විවිධත්වයක් තිබෙන ප‍්‍රදේශයක්. මෙය ජල පෝෂක ප‍්‍රදේශය පාංශු රක්‍ෂණ කලාපයක්ද වෙනවා. එවැනි ප‍්‍රදේශයක් බැකෝ යන්ත‍්‍ර යොදාගෙන ස්වභාවිකව පවත්නා ගස් ගල් ඉවත් කිරීමකට අවසරයක් ගෙන නොමැති බවත් හෙළිකර ගැනීමට හැකි වුණා.

මෙම විනාශ කරන ප‍්‍රදේශය සිංහරාජ පරිවාර වනාන්තරයක් වන හඳපාන් ඇල්ලෙන් ආරම්භ වන ඉතා වටිනා දොළ මාර්ගයකට මායිම් වන අතර එය පෝෂණ කලාපයක්ද වෙනවා.

මෙම විනාශය පිළිබඳව පරිසර අමාත්‍යාංශය ප‍්‍රමුඛ වගකිව යුතු ආයතන ගණනාවකට අපි ලිඛිතව දැනුවත් කර තිබෙනවා. සිංහරාජය ඇතුළු සංවේදී වනාන්තර පද්ධති දිගින් දිගටම මේ අයුරින් විනාශ කරමින් පවතිනවා. එවැනි පරිසර පද්ධති පරිසර සංවේදි කළාපයන් ලෙස නම් කිරීමට පියවර ගන්නා ලෙසත් එම පරිසර විනාශ කරන්නන්ට විරුද්ධව නීතිය තදින් ක‍්‍රියාත්මක කරන ලෙසටත් දැනුවත් කළා.

ප‍්‍රදේශවාසීන් මෙම පරිසර විනාශයට තදින්ම විරුද්ධයි. නමුත් මෙම පුද්ගලයා තමන් යුද හමුදාවේ හිටපු කර්නල්වරයෙකු බව පවසමින් ප‍්‍රදේශවාසීන් අතර බියක් ජනිත කරමින් ඔවුන්ව යටපත් කිරීමේ උත්සහයක නිරත වෙනවා. ප‍්‍රදේශවාසීන් ප‍්‍රසිද්ධියේ අදහස් දැක්වීමට එම නිසා මැළිකමක් දක්වනවා. එම නිසා මෙය බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු ගැටලුවක්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button