පුරවැසි කොළම

කොන්ද පණ නැති තාරුණ්‍යය

මේ තරුණයා සිස්ටම් එකට අනුව යහපත් තරුණයෙකි. මේ තරුණයාට සමස්ථ සමාජය විසින් කුඩා කල සිටම උගන්වා ඇත්තේ වැඩිහිටියන්ට ගරු කරන්නටය. තමාට වඩා වයසින් වැඩි පුද්ගලයන්ට කෘතඥතාවය පෙන්වීමට හෝ ගරුත්වය පෙන්වීමට දණ ගසා වැඳීම ඔහු තනිවම ඉගෙන ගත්තේ නැත. අලුත් අවුරුද්දට නිවසට පැමිණෙන ඕනෑම වැඩිහිටියෙකුට “වැඳපන් පුතේ අයියට, අක්කට” කියා ඉගැන්නුවේ දෙමව්පියන්ය.

ලපටි දේශපාලඥයෙක් ඉදිරියේ මේ දෙකට නැමෙන්නේ තනි පුද්ගලයෙක් නොව ජනතාවගේ බදු මුදලින් වසරකට බිලියන 100 කට වඩා ආයෝජනය කරමින් පවත්වාගෙන යන අධ්‍යාපන ක්‍රමයය. මේ දණ ගසාගෙන සිටින්නේ වසර 13 ක් විධිමත් පාසල් අධ්‍යාපනයක් ලබා දී සමාජගත කෙරුණු ලාංකීය පෞර්ශයය. මේ දණගසා සිටින්නේ දරුවන් පාසල් යැවිය යුත්තේ විභාග දෙකක් සමත් වීමට පමණක් බව තවමත් විශ්වාස කරන දෙමවුපියන්ගේ අභිමානයය.

මේ තරුණ දේශපාලඥයාට තේරෙන අල බෝලයක් නැත. ඔහුත් සාමාන්‍ය පවුලක ඉපදුනානම් අද මේ තරුණයා කරන දෙයම ඔහු නොකරාවියැයි සිතිය නොහැකිය. දේශපාලඥයා දියුණු තරුණයෙක් වූවානම් අවසාන මොහොතේදී අවම වශයෙන් ඵලය වෙනස් කිරීමට හෝ හැකියාවක් තිබුණි. වඩා හොඳ සමාජයක් නිර්මානය කිරීම වෙනුවෙන් වැඩ කිරීමට ඔහුට උගන්වා නැති බව අපි දැනගෙන බොහෝ කල්ය.

මෙය දේශපාලඥයාගේ උඩඟු සහ අධිපතිවාදී හැසිරීම ලෙස හෝ මේ තරුණයාගේ වහල් කම ලෙස පමනක් ලඝු කොට සැලකිය නොහැකිය. මෙවැනි තරුණයන් සමාජගත කිරීමට දායක වන දෙමවුපියන්, ගුරුවරුන්, වැඩිහිටි සහෝදරයන්, පාසැල් පද්ධතිය සහ ආගමික සංස්ථාව මෙම පසුගාමී වහල් සමාජ හැසිරීමට සෘජුවම වග කිවයුතුය. මෙය ඔවුන්ගේ වගකීම් නිසි ලෙස ඉටු නොකිරීමේ තාර්කික ප්‍රථිපලයක් ලෙස දැන්වත් පිළිගත යුතුය.

“සඟ රජවරුන්, උගතුන්, බුද්ධිමතුන්, කලා කරුවන්, විදුහල්පති වරුන්, වෘත්තිකයන්, ගුරුවරුන් සහ දෙමවුපියන් පවා දේශපාලඥයන් ඉදිරියේ දණ ගසනවා නම් මගේ දණ ගැසීමේ ඇති වරද මොකද්ද” කියා සමහරවිට මේ තරුණයාට සිතුණා වන්නටද ඉඩ ඇත.


සඳරුවන් සේනානායක

Advertisements
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button