ක්‍රීඩා

ලසිත් මාලිංග නොකියා කියපු ඇත්තම කතාව

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) නැවත මෙරටට පැමිණියේය. ඒ පසුගිය වසර 20 ක කාලය තුළ අප මුහුණ දුන් අවාසනාවන්තම, අසාර්ථකම ලෝක කුසලාන තරගාවලිය නිමාවට පත් කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසු කණ්ඩායමේ නායකයා, පුහුණුකරු හා තේරීම් කමිටු සභාපති මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී හා ඔවුන් පැවැත්වූූ මාධ්‍ය හමුවේදී අපට අසන්නට ලැබුණේ වසර කිහිපයක් තිස්සේ අපට කටපාඩම් වී ඇති සුපුරුදු අඬෝවැඩියාවයි.

පරාජයේ වගකීම බාරගන්නට සියලු දෙනා සූදානම් බව ඔවුහු කියති. එහෙත් වගකීම බාරගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්නේ නැත. එක්කෝ පරාජය ජයග්‍රහණය බවට පරිවර්තනය කිරීමට දැන් හෝ ඔවුන්ට වැඩපිළිවෙලක් තිබිය යුතුය. එසේ නැත්නම් පරාජය භාරගෙන තමන්ට වඩා සුදසු පුද්ගලයන්ට වගකීම් පැවරීම සඳහා අවස්ථාව ලබාදිය යුතුය.

එහෙත් පුහුණුකරුගේ හෝ තේරීම් කමිටු සභාපතිවරයාගේ එවැනි බලාපොරොත්තුවක් නැත. හතුරුසිංහ පවසන්නේ තමන්ට තවත් මාස 16 ක කාලයක් තිබෙන බවයි. අවම ලෙස එම මාස 16 තුළ සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව හෝ පවසන්නේ නැත.

ඊයේ අඩුවෙන්ම කතා කළේ ලසිත් මාලිංගය. එහෙත් වැල්වටාරම් නොමැතිව, අවම වචන ප්‍රමාණයකින් තත්වය පැහැදිලි කළේ ඔහුය. ඔහු කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බැවින් ඔහුගේ වචනවලට යා හැකි සීමාවක් ඇති නිසා බොහෝ දේ පවසන්නට තිබුණද කට වසාගෙන සිටියා වන්නට ඇත. එහෙත් ඔහු පැවසූ දෙයින් කණ්ඩායම තුළ අර්බුද තිබෙන බව ඔහු නොකියා කීවේය.

වෙනදා කණ්ඩායම වෙනුවෙන් කතා කරන ඔහු ඊයේ නොකියා කීවේ අනෙක් ක්‍රීඩකයන්ගෙන් තමන්ට අවශ්‍ය උපරිම සහයෝගය නොලැබුණු බවයි. එසේම කණ්ඩායමේ එකමුතුභාවය සම්බන්ධයෙන් ලසිත් මාලිංගගෙන් ඇසූවිට ඔහු ඊට සෘජු පිළිතුරක් ලබා දුන්නේ නැත. ඒ හරහා ඇත්ත තත්වය ක්‍රීඩාලෝලීන්ට තේරුම් ගත හැකි වනු ඇත.

පෙනෙන අන්දමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන් කරන මාර්ගය වෙනස් කිරීමට බලධාරීන් තවමත් සූදානම් නොමැත. එසේ වෙනත් මාවතකට වැටෙන්නේ නම් මේ, ඒ සඳහා සුදුසුම අවස්ථාවයි. එසේම අවසන් අවස්ථාවයි. ලබන වසරේදී පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට අපට සිදුව තිබේ. ඒ 20/20 ලෝක ශූරයන් වී වසර 06 ක් ඉක්ම යද්දීය.

තවදුරටත් වෙනස් නොවන්නේ නම්, මේ පාරේම යන්නේ නම් 20/20 ලෝක කුසලානයේදීද සුදුසුකම් ලැබීමේ වටයෙන් ජය ගත්තද ඉන් එහාට යාමක් නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button