විශේෂාංග

ජීවිත බිල්ලට දෙමින් ඉදිකරන ගල්අඟුරු බලාගාර

කර්මාන්තකරණය හා ගල්අඟුරු

විශාල වශයෙන් ලොව ගල්අඟුරු දහනය ආරම්භ වන්නේ ගල් අඟුරුකරණය නැත්නම් කර්මාන්තකරණය යුරෝපයේ ආරම්භ වූ අවධියේය. ඒ එක්දහස් අටසිය පහළවෙන් පසුවයි. විශේෂයෙන් යුරෝපය හා ඇමරිකාව පදනම් කරගනිමින් විශාල කර්මාන්ත ශාලා ඉන්ධන නිෂ්පාදනය සදහා ගල් අඟුරු බලාගාර ආරම්භ කිරීම සිදුවිය.

මේ සඳහා අවශ්‍ය ගල්අඟුරු ලොව විශාලම ගල් අඟුරු කැණීම් සිදුකරන ඇමරිකාවේ වයෝමීන් ගංගා නිම්නයේ ඇති ගල් අඟුරු පතලෙන්, මොන්ගෝලියාවේ චීනයට අයත් ගල් අඟුරු පතලක් ලෙස හඳුන්වන ලොව දෙවනුවට විශාල ගල් අඟුරු ආකරය වන Haerwusu පතලෙනුත් එම ප්‍රදේශයේම පවත්වාගෙන යන චීනයට අයත් ලොව තෙවන විශාල ගල්අඟුරු පතලවන Hei Dai Gou පතලෙනුත් මෙසැමිබික් හි මොඇටයිස්, ඇමරිකාවේ බැලැක් තණ්ඩර් හා කොබලෝ, ඕස්ට්‍රේලියාවේ පීක් ඩවුන්ස් හා ආර්තුර්, රුසියාවේ රස්පදස්ක්යා, කොළොම්බියාවේ චෙරජොන් වැනි ලොව විශාලතම ගල් අඟුරු ආකර වලින් ලබා ගන්නා ලද අතර මෙම බලාගාර වල හිමිකම් ඇත්තේ බහුතර වශයෙන් චීනය, එංගලන්තය, ඇමරිකාව හා රුසියන් සමාගම් වලටය.

ගල්අඟුරු භාවිතයෙන් අත්වූ සමාජ ඉරණම ගැන පර්යේෂණයක්

වසර එකසිය අනූවකට අධික කාලයක් යුරෝපය හා ඇමරිකාව සිය ප්‍රධාන කර්මාන්තශාලා පවත්වාගෙන යාමේ ප්‍රධානතම බලශක්ති නිෂ්පාදකයා ලෙස භාවිතා කරන ලද්දේ ගල්අඟුරු වන අතර එම වසර ගණනාවක ගල්අඟුරු භාවිතයත් සමගම යුරෝපයේ හා ඇමරිකාවේ පරිසරයට හා ජන සමාජයට අත්වූ ඉරණම පිළිබද එහි විද්‍යාඥයින් විසින්ම පර්යේෂණ කිරීම ආරම්භ කරන ලදී.

ලොව ප්‍රධානම පරිසර දූෂකය ගල්අඟුරු

ඒ අනුව අද ගල්අඟුරු බලාගාර හඳුන්වන්නේ ලොව ඇති ප්‍රධානම පරිසර දූෂකයන් ලෙසය. අද ඒවා බලශක්ති නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ යල් පැන ගිය බලශක්ති උත්පාදකයන් ලෙස සලකනු ලබයි. යල් පැනගිය තාක්ෂණයක් වන අතර ගල්අඟුරු කෝච්චි මෙන් ලෝකයෙන් ඉවත් කරමින් තිබෙන දෙයකි. යුරෝපයේ රටවල් 25ක් ඇති ගල්අඟුරු බලාගාර 30ක් සොබාදහම සඳහා වන ලෝක අරමුදල (WWF) විසින් නම් කර ඇත්තේ යුරෝපයේ කිළුටු තිහ (Europ’s Dirty Thirty) ලෙසයි. ගල්අඟුරු තාක්ෂණය යල් පැන ගොස් තිබෙන බව සැලකෙන්නේ දැනට වසර 30කට පමණ පෙර සිටය. ඒ නිසා පරණ වාහන මෙන් දැන් ඒවා කාගේ හෝ කරේ ගැසීමට ලොවපුරා බලවත් රටවල් උත්සහ ගනිමින් ඇත. ඒවා විකිණිය හැකි වන්නේ ‘දේශපාලුවන්ගෙන් පිරි තුන්වන ලෝකයට අයත් රටවලට පමණි. අපට ගල්අඟුරු නොමැති නිසා එවැනි බලාගාර ආනයනය කළ පසු සදාකාලිකවම ඒ රටවල් සතු ගල්අඟුරු මත යැපීමට අපට සිදුවනු ඇත.

ලංකාවේ දෙදහස් හතලිහ වන විට මෙගා වොට් 1200 ගල්අඟුරු විදුලි නිෂ්පාදනය සදහා අවශය පියවර ගනිමින් සිටී ඒ අනුව නොරොච්චෝලේ දැනට මෙගා වොට් 300 ධාරිතාව 900 දක්වා වැඩි කිරීමටත් ත්‍රිකුණාමලයේ නව ගල්අගුරු බලාගාරයක් ඉදිකිරීමටත් අවශ්‍ය කැබිනට් අනුමැතිය මේ වන විට යහපාලන රජය විසින් ගෙන ඇත. තත්පර අනූවකින් සූර්යාගේ සිට හිරු එළිය පතිත වන රටක සූර්ය බල ශක්තිය භාවිතයට නොගෙන ගල්අගුරු පසු පස යන්නේ ඇයි දැයි අපට ඇත්තේ දැවැන්ත ප්‍රශ්නයකි.

ගල්අඟුරු හරහා ගල් වන කොමිස්

මෙගාවොට් 1200ක ධාරිතාවයෙන් යුතු ගල්අඟුරු බලාගාර සඳහා දිනකට ගල්අඟුරු මෙට්‍රික් ටොන් 10,560ක් අවශ්‍ය වෙයි. ඒ අනුව වාර්ෂික අවශ්‍යතාව මෙ. ටොන් 3,854,400කි. මෙ. ටොන් 1කට ඩොලර් 1 කොමිස් මුදලක් අවම වශයෙන් යම් යම් අයට ලැබෙන්නේ නම්, වාර්ෂික ඒ අයට ලැබෙන කොමිස් මුදල පමණක් ඩොලර් 3,854,400කි. එය 10 දෙනෙකු අතර සමව බෙදුනත් එක් අයෙකුගේ කොටස වාර්ෂිකව ඩොලර් 385,440කි. එනම් රුපියලේ අගය වශයෙන් රු. 150 ක් යයි සිතුවහොත් ඒ අනුව රු. 57,816,000කි. එය මාසිකව දළ වශයෙන් රු. 4,818,000කි. ගල් අඟුරු බලාගාරයක අවශ්‍යතාව පිළිබඳ පින්තූරයේ ස්වභාවය මීටත් වඩා පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ යයි සිතමි.

මෙගා වොට් 1200 ගල්අඟුරු විදුලි නිෂ්පාදනයේ පරිසර අනතුර කෙටියෙන්

අන්තර්ජාතික ප්‍රමිති තත්ත්වයන්ට අනුව එම මට්ටමේ බලාගාර වාර්ෂිකව කිලෝවොට් පැය බිලියන 8.4ක විදුලිබලයන් නිපදවිය හැකිය. ඒ අනුව එවැනි බලාගාරයකින් වසරකට සල්පර් ඩයොක්සයිඞ් වායුව ටොන් 24,000ක් සහ නයිට්‍රජන් ඩයොක්සයිඞ් වායු ටොන් 24,000ක් නිකුත් වෙන අතර අම්ල වැසි සඳහා ප්‍රධාන ලෙස දායක වන්නේ මෙම වායුන්ය. එමගින් ජලාශ, භූගත ජලය, වනාන්තර ගොවිබිම් සහ ගොඩනැගිලිහානියට පත් වෙයි. එසේම වසරකට කාබන්ඩයොක්සයිඞ් වායුව ටොන් මිලියන 8.88ක් පිටකරන අතර එය මහපොළවේ උෂ්ණත්වය වැඩි කිරිම හෙවත් හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකයා වෙයි.

එසේම අතිශය විෂ වායුවක් වන කාබන්මොනොක්සයිඞ් ටොන් 1,728 ක් වායු ගෝලයට එක් කරයි. ඊට අමතරව අළු ටොන් 300,000ක් (දිනකට එකකින් ටොන් 200ක් පමණ) සහ විවිධ කුඩා අංශූන් ටොන් 1200ක් ද පරිසරයට පිට කරයි. මේ අපද්‍රව්‍ය අතර ජීවීන්ට අතිශය හානිකර ආසනික්, රසදිය, කැඩ්මියම් සහිත සංයෝගද පවතී. මේවායේ විශේෂත්වය වන්නේ ඒවා අතිශය සුළු ප්‍රමාණයක් පරිසරයට එක්වීම නිසා සියළුම ජීවීන්ට විශාල හානියක් කිරීමට හැකිවීමය. නිදසුනකට රසදිය තේ හැන්දකින් 1/70කින් කොටසක් අක්කර 25 ජලාශයක තැන්පත් වූ විට එහි මසුන් ආහාරයට ගැනීම අන්තරාකාරී වේ. මෙම දත්ත ඇමරිකා එක්සත් ජනපදයේ දැඩි පරිසර තත්ත්ව පාලනයක් යටතේ පවතින් ගල් අඟුරු බලාගාර හා හොඳ තත්ත්වයේ ගල්අඟුරු දහනය කිරීම ආශ්‍රිතව ලබා ගත් දත්ත වේ. එසේ වූවත් අද ඇමරිකාවේ ප්‍රධාන වායු දූෂකයා ලෙස නම් කර ඇතතේ ගල්අඟුරු බලාගාරයි. (Union of Concerned Scientists, Environmental Defences, Americam Lung Association)

මීමෝ ගල්අඟුරු හානිය හා නොරොච්චෝලේ විනාශය

මී මෝ ගල්අඟුරු පතල 1960 දී සුළු පරිමාණයෙන් අරඹන ලද අතර 1980 දශකය වන විට එය තායිලන්තයේ විශාලතම ගල්අඟුරු පතල බවට පත්ව තිබුණි. බලාගාරයේ දහන ක්‍රියාවලිය මඟින් වාර්ෂිකව සල්ෆර්ඩයෝක්සයිඞ් වායුව (මෙය වෙඩි බෙහෙත් ගඳ වායුවකි) ටොන්මිලියන 1.6 ක් වායුගෝලයට මුදා හරිනු ලබන අතර එමඟින් මීමෝ ප්‍රාන්තයේ ජනතාව තුළ දරුණු සෞඛ්‍ය ගැටළු රැසක් නිර්මාණය කොට තිබුණි. කැස්ස, ඇදුම, හතිය, නිරතුරු ප්‍රතිශ්‍යාවල කදුළු ගැලීම සුලබ අත්දැකීමක් විය. එය කලාපය තුළ දේශගුණය වෙනස් කිරීමට ප්‍රධාන දායකත්වය දක්වමින් වාර්ෂිකව කාබන් ඩයොක්සයිඞ් වායු ටොන් 40,33,932 ක් වායු ගෝලයට එක්කරයි. අධික ලාභ ලැබෙන මෙම බලශක්ති නිෂ්පාදනයේ මුල්‍ය ආයෝජකයන් වන්නේ ආසියානු සංවර්ධන බැංකුව ප්‍රමුඛ කලාපයේ ධන කුවේර සමාගම් කීපයකි. පසුගිය 20 වසර තුළදී ඩොලර් බිලියන 352 කට වඩා වැඩි මුදලක් මෙබඳු ව්‍යාපෘති සඳහා ආයෝජනය කරනු ලැබ තිබේ.

තායිලන්ත ප්‍රජා නියෝජිතයන් කණ්ඩායමක් විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති හරුහින්කෝ කුරෝඩා වෙත ගල්අඟුරු මුට්ටියක් ප්‍රදානය කළේ බලාගාරයේ ප්‍රතිවිපාක ව්‍යපෘති අරඹා වසර 20ක් තුළදී එනම්, 2006 ආරම්භය වන විට 30. 000 කට අධික මීමෝ ප්‍රාන්තයේ ජනතාව තම නිජබිම් වලින් ඉවත්කරනු ලැබ තිබිණි බව හැඟවීමටය.

තායිලන්තයේ විදුලි ජනන අධිකාරියට එරෙහිව පැමිණිල්ලක්

උග්‍ර ශ්වසන ආබාධ නිසා ජීවත්වීමේ අයිතිය අහිමි වු දහස් ගණනක් ජනයා වෙනුවෙන් තායිලන්තය විදුලි උත්පාදක අධිකාරියට එරෙහිව වන්දි ඉල්ලා තායිලන්ත අධිකරණයේ නඩුකර 4ක් ගොනුකොට තිබිණි. උග්‍ර විෂ සහිත සල්ෆර්ඩයොක්සයිඞ් අධි සාන්ද්‍රණීය නිසා 600 කට අධික පිරිසක් සුවකළ නොහැකි ශ්වසන ආබාධ වලට ලක්ව සිටි අතර බලාගාරයෙන් නිරතුරු වා තලයට නිකුත් වූ අඟුරු දුවිලි, ප්‍රාන්තයේ ජලාශ හා ගංඟා සමග මුසුවිය.

සල්ෆර් ඩයොක්සයිඩ් වායුවේ ක්‍රියාව මඟින් සියලුම කුඹුරු විනාශ වී ගිය අතර පොළවට පතිතවන ජලය ආම්ලික වීම නිසා පස සරු කරන ක්ෂුද්‍ර ජීවීන් ද සියලුම මත්ස්‍ය විශේෂද විනාශ වෙමින් පැවතුණි. කුඩා මසුන් මත යැපෙන පක්‍ෂින් ද මේ නිසා වඳ වී ගොස් ඇත. තායිලන්තයට පමණක් ආවේණික පැළෑටි විශේෂ දහස් ගණනක් මේවන විට වඳවෙමින් පවතී.

ටිමොර්හි පරිසර ගැටළුව වඩාත් උග්‍ර තත්ත්වයට පත්වුයේ 1996 අප්‍රේල් – මැයි ගම්වාසීන් 6 දෙනෙක් මරණයට පත්විමත් සමඟිනි. 1999 මැද භාගයේදී 600 කට අධික ප්‍රමාණයක් ගැමියන් දරුණූ ලෙස රෝගාතුරව රෝහල් ගත කෙරිණි. 2002 වසරේ එළි දැක්වුණු ජගත් ග්‍රීන්පීස් පරිසර පර්යේෂණ වාර්තාවට අනුව මීමෝ ගල් අඟුරු බලාගාරය වසරකට පියාසර අළු (Fly ash ) මෙට්‍රික් ටොන් 43,80,000 ක්ද නියුරොටොක්සින් මකරි (Neurotoxin Mercury) මෙට්‍රික් ටොන් 39 ක්ද, පරිසරයට මුදා හරිනු ලැබ ඇති බවයි. අළු සාම්පල පරික්‍ෂාවට ලක් කිරීමේදි සොයා ගන්නා ලද්දේ ආසනික් හා රසදිය සංයෝග නැවුම් පසෙහි අඩංගු ප්‍රමාණය මෙන් 14 ගුණයක් එහි අඩංගු බවයි.

රසදිය පරිසරයට එක්වීමේ අවධානම – මිනිස් හා සත්ව ජීවිත බිල්ලට තැබීම

මෙබඳු සැර ප්‍රමාණයකින් රසදිය සංයෝග පරිසරයට එක්වීම භයානක තත්ත්වයකි. මක් නිසාදයත් රසදිය සංයෝග රසායනික විද්‍යාවේදි උග්‍ර විෂ දෙයක් ලෙස සලකන බැවිනි. පසෙහිද මිරිදියෙහිද කරදියෙහිද බහුල ස්වාභාවික ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්ව විසින් සුළඟේ පාව එන ගල්අඟුරු අළුවල අඩංගු අකාබනික රසදිය සංයෝග මෙතිල් මකරි වැනි කාබනික සංයෝග බවට හරවනු ලබයි.

මෙහිදී මර්කරි මිනිසාට මෙන්ම සතුන්ටද මාරක විෂකි. එය ඉතා ක්‍ෂණිකව ආහාර දාම ඔස්සේ ශරීරගත වී බලගතු ස්නායු අක්‍රියතා ඇති කරවයි.

නොරොච්චෝලේ දුක

නොරොච්චෝලේ ලක් විජය ගල් අගුරු බලාගාරය ආරම්භයේදී පටන් විශාල විරෝධයක් නැගුණේ ජනතාවගේ ඉඩම් අහිමි වීම, පරිසර විනාශය හා සෞඛ්‍ය ගැටලු යන ප්‍රධාන කාරණ තුනත්, පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් වෙත දූපත් රාජ්‍යක් ලෙස අප යොමු වීමේ වැදගත්කමත් පෙන්වා දෙමින්ය. නමුත් දෙදහස් හත වර්ෂයේ සිට පැවති ජනතා විරෝධයන් නොතකා ඉදිකළ මෙම තාප විදුලි බලාගාරය නිසා කල්පිටිය

මුහුදු ජීවීන් විනාශ කරවන හා ශ්වසන ආබාධ ඇතිකරවන නොරොච්චෝලේ

ප්‍රදේශයේ දැවැන්ත පාරිසරික හා සෞඛ්‍යහානි සිදුවී ඇත. විශේෂයෙන්ම, මෙම ගල්අඟුරු බලාගාරයෙන් පිටකරන උණුසුම් ජලය කෙලින්ම එක්කරන්නේ කල්පිටිය මුහුදු තීරයටයි. එම නිසා වරින් වර මුහුදු ජීවීන් විනාශවී යාම විටින් විට වාර්තා වූ අතර මෙමගින් පිටකරන අළු නිසා ප්‍රදේශයේ වාතය හුස්ම ගැනීමට අපහසු තරම් දූෂණය වී ඇත.

කල්පිටිය ප්‍රදේශයේ සිදුකළ ක්ෂේත්‍ර ගවේෂණ වලදී අපට දැකගත හැකි වූයේ ගල්අඟුරු දහනයෙන් නික්මෙන අළු ප්‍රදේශය පුර වගාබිම් වල හා විවෘත ජල භූමි වල තැන්පත් වී ඇති ආකාරයයි. ඒවා ඇතැම් නිවාස වල වහල මතද දකින්නට ඇත. ලූණු වගා බිමිවල හා අනෙකුත් වගාවන්ට එක්වන විෂ අනුභව කරන්නේ කල්පිටියේ මිනිසුන් පමණක් නොව එය රට පුරාම බෙදා හැරේ. සූළග සමග මුසුවන විෂවායු හා මෙම අළු අඩුම කිලෝ මීටර් සියයක් වත් දුරට පතිත වන බව අපිරිසිදු ගල්අඅඟුරු යන හිසින් ලියන ලද පර්යේෂණ පත්‍රිකා වල සඳහන් වේ. ඒ අනුව එය ශ්‍රී මහා බෝධිය විනාශ වී යාමට හේතුවේ. මෙම හේතු නිසාම ලක් විජය ගල්අඟුරු බලාගාරය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ ජාතික පාරිසරික පනතේ විධි විධාන සියල්ල උල්ලංඝනය කරමිනි.

දේශපාලන වුවමනාවන් මත මධ්‍යම පරිසර අධිකාරිය චුන්නාකම් සිද්ධියේදී මෙන් පෙනී සිටින්නේ පරිසරය හෝ ජන සමාජය වෙනුවෙන් නොව මෙහිදීත් මෙම දූෂිත ගල්අඟුරු බලාගාරය වෙනුවෙන් වීම නිසා නවතා දැමිය යුතු ගල්අඟුරු බලාගාරයක් වෙනුවට තවත් ගල්අඟුරු බලාගාර ඉදිකිරීමට අවසර ගැනීම රජය විසින් මේ මොහෙත වන විට සිදු කර ඇත.

මෙතරම් ස්වභාවික සුළං, මුහුදු රළ හා හිරු එළිය භාවිතා කර මෙම කූඩා දූපත් රාජ්‍යක් වන ලංකාවට විදුලිය නිෂ්පාදය කර අඩු මුදලට ලබාදීමට හැකියාව තිබියදී ලොව ඉවත් කරන ගල්අඟුරු බලාගාර ඉදිකොට පරිසරය සතා සිව්පාවා මෙන්ම ජන සමාජය විනාශ කරන්නේද ගල්අඟුරු වලින් ලැබෙන ඉහත පෙන්වා දුන් කොමිස් මුදල් වෙනුවෙන් නොවේද ?.


රවීන්ද්‍ර කාරියවසම්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button