විශේෂාංග

මාධ්‍යවෙදියාව ඝාතනය කරපු හැටි – සම්පුර්ණ කතාව

පසුගාමී සවුදිය ලෝකයේ ඇස්වලට වැලි ගසමින් පසුගාමී ලෙසම පවත්වාගෙන යන හැටි කෂෝගී ලිව්වා

ඝාතනය ගැන ඡායාරූප, වීඩියෝ, හඬපට ආදී සාක්ෂි ගණනාවක් දැනටමත් හෙළිවී හමාරයි.

ඩොනල්ඩ් ට‍්‍රම්ප් මේ භයානක ඝාතනයේ රෙදි හෝදන්නට පටන්ගෙන තිබුණා

ඒ භයානක ඝාතනයේ මුල, මැද, අග ගැන තොරතුරු එකිනෙක හෙළිවෙද්දී ලෝකයම සලිත වුණා. විවාහ වී අලූත්ම දිවියක් අරඹන්නට සූදානම් වෙන කෙනෙක්ව ඝාතනය කොට, සිරුර සැඟවීම ඛේදවාචකයක් නොවන්නේ කෙලෙසද. 2018 ඔක්තෝබර් 02 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර සවුදි තානාපති සේවයට අයත් කොන්සල් කාර්යාලයේදී සිදුවූ ජමාල් කෂෝගි ඝාතනය ලෝක දේශපාලනයටම බලපෑම් කරන සිදුවීමක් වුණා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුර දේවතාවුන් ලෙස පෙනී සිටින ඇමෙරිකාවේ වත්මන් රාජ්‍ය නායකයාව නිරුවත් කරන සිදුවීමක්ද වුණා.

චරිත

අපේ මේ උත්සාහය ජමාල් කෂෝගී ඝාතනය ගැන නැවත කතාකිරීමටයි. ඝාතනය සිදුවූ අන්දමත්, ඝාතනයෙන් පසුව සිදුවූ සිදුවීම්වල තිබෙන භයානක දේශපාලනයත් ගැන කතාකළ යුතුයි. ඇත්තෙන්ම කෂෝගී ඝාතනයත්, ඉන්පසුව සිදුවූ සිදුවීම් පෙළත් චිත‍්‍රපටි පිටපතක් බඳුයි. මේ සිදුවීම්වලදී අපට හමුවන්නේ චිත‍්‍රපටිවල චරිත බඳු චරිත ගොන්නක්.

ප‍්‍රධාන චරිතය වන ජමාල් කෂෝගී දෙස හැරෙන්නට පෙර ප‍්‍රධාන දුෂ්ඨයා ගැන කතාකළ යුතුයි. පළවැනියා සවුදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු. ඔහුව ලෝකය හඳුන්වන්නේ එම්බීඑස් කුමරු යන නමින්. ජමාල් කෂෝගීව ඝාතනය කිරීමට පෙර කාලයේදී මේ කුමාරයාව සැලකුවේ පසුගාමී සවුදියට නවීන ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදෙමින් සිටින දියුණු කුමාරයෙකු බවයි. වාහන පැදවීම සවුදියේ කාන්තාවන්ට තහනම්ව තිබුණත්, ඔහු කාන්තාවන්ට වාහන පැදවීමේ අයිතිය ලබාදුන්නා. බටහිර ලෝකය සමඟ ඔහු විවෘත සම්බන්ධතා පැවැත්වුවා. තවත් ප‍්‍රතිසංස්කරණ ගණනාවක් කරද්දී බොහෝ අය ඔහුව කෂෝගීව ඝාතනය කරන තෙක්ම හඳුනාගත්තේ නවීකාරකයෙක් ලෙසයි.

ප‍්‍රධාන චරිතය ජමාල් කෂෝගී ගැන දැන් කතාකළ යුතුයි. කෂෝගී සවුදියේ සිටි මාධ්‍යවේදියෙක්. එමෙන්ම සවුදි රාජ්‍යයේ ඉහළ පෙළේ බොහෝ අය සමඟ සම්බන්ධතා පැවැත්වූ අයෙක්. එම්බීඑස් කුමරු බලයට පැමිණ නවීකාරයෙකු ලෙස ලෝකයේම ප‍්‍රසිද්ධ වෙද්දී කෂෝගී ඊට ප‍්‍රතිවිරුද්ධ දේවල් කියන්නට පටන්ගත්තා. සවුදියේ කාන්තාවන්ට කාර් පදවන්නට අවසර ලැබුණු බව ඇත්ත. එහෙත් සවුදියේ කාන්තාවන් තවමත් විශාල වශයෙන් පීඩා විඳිමින් සිටින බව කෂෝගී කියන්න පටන්ගත්තා. මේ සිදුවීම් සමඟ කෂෝගී සවුදිය අත්හැර ඇමෙරිකාවට ගියා. එහිදී වොෂිංටන් පෝස්ට් පුවත්පතේ සිය තීරු ලිපි මාලාවෙන් එම්බීඑස් කුමරුට අන්තර්ජාතික වශයෙන් දැවැන්ත වාග් ප‍්‍රහාර එල්ල කළා. මේ කුමාරයා ලෝකය ඉදිරියේ නවීකාරයෙකු ලෙස පෙනීසිටිමින් සවුදිය තුළ තමන් වටා විශාල බලයක් ගොඩනඟා ගන්නා හැටිත්, ප‍්‍රතිවිරුද්ධ අදහස් මර්ධනය කරන හැටිත්, පසුගාමී සවුදිය ලෝකයේ ඇස්වලට වැලි ගසමින් පසුගාමී ලෙසම පවත්වාගෙන යන හැටිත් කෂෝගී ලිව්වා.

අනෙක් ප‍්‍රධාන චරිතය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්. මේ කතාවේ වැදගත්ම කොටසක් ඔහු ඉටු කරනවා. අප තේරුම් ගත යුතුයි ඇමෙරිකාව යනු, ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා සාමජයේ ආරක්ෂකයා ලෙස තමන්වම නම් කරගත් රාජ්‍යයක් බව. ලොව ආර්ථික බලවතාව සිටි ඇමෙරිකාව සමඟ යම් රටක් ගණුදෙනු කරන්නේ නම් ඒ රටෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබෙනවාද නැද්ද යන්න වැදගත්ව සලකා බැලුවා. මානව හිමිකම් කඩන රටවල්වලට ආර්ථික සම්බාධක දැමීමේදී ඉදිරියෙන්ම සිටියේ ඇමෙරිකාව. ඇත්තෙන්ම ඇමෙරිකාව මතුපිටින් රඟපෑ ඒ චරිතය ලොවපුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන උදවියගේ සතුටට හේතු වුණා. ලෝකයේ ආර්ථික හා ප‍්‍රජාතන්ත‍්‍රීය ලිබරල් ක‍්‍රමයේ ගෘහය වෙච්ච ඇමෙරිකාව ලිබරල්වාදී තරාදියක මානව හිමිකම් හා විවෘත ආර්ථික ලාභ සමානව තබන බව ලොවට පෙන්වුවා. ඇමෙරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ ගැන යටින් කෙතරම් චෝදනා තිබුණද, නිල වශයෙන් ඇමෙරිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව ගියේ නැහැ. එහෙව් ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා තමයි ඩොනල්ඩ් ට‍්‍රම්ප් කියන්නේ.

මානව හිමිකම් කොමිෂම

2019 ජුනි මාසයේ මුල ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ විශේෂ නියෝජිතවරියක් වන ඇග්නස් කැලමාර්ඞ් කෂෝගී ඝාතනය ගැන විශේෂ වාර්තාවක් නිකුත් කරමින්, ඝාතනයට සවුදි රජය වගකිව යුතු බව කියා තිබුණා. එම්බීඑස් කුමරු මේ සිදුවීමට සම්බන්ධ බවට සැක කරන්නට තරම් සාක්ෂි තියෙන නිසා, ඔහු සම්බන්ධදැයි සැකහැර දැනගැනීමට පරීක්ෂණ කළ යුතු බවත් ඒ වාර්තාවේ තිබුණා.
ඝාතනය සැලසුම්සහගත පියවර වලින් හා ඉහළම මට්ටමේ සංවිධාන රාමුවකින් සිදුව ඇති බවත්, එයට ඉතා ඉහළ මට්ටමේ පිරිස් හා ධන බලයක් වැය කර තිබෙන බවත් එහි සඳහන් වෙනවා. එයට ඉහළම මට්ටමේ නිලධාරීන් සහාය දක්වා ඇති බවද පවසනවා.

සමස්තයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවෙන් පෙන්වන්නේ කෂෝගි ඝාතනය අන්තර්ජාතික නීති හයක් මූලික වශයෙන් උල්ලංඝනය කර ඇති බවයි. අත්තනෝමතික ලෙස ජීවිතයක් අහිමි කිරීම, දේශසීමා උල්ලංඝණය කරමින් බලය ක‍්‍රියාත්මක කිරීම, කොන්සල් සේවාවන් සිය සීමා ඉක්මවමින් ක‍්‍රියාත්මක කිරීම, වධහිංසනයට පමුණුවීම, අතුරුදන් කරවීම, මාධ්‍යවේදියෙකුට ඒ සියලූ දේ කිරීමෙන් අදහස් ප‍්‍රකාශනයේ නිදහසට බාධා කිරීම යන වැරදි 6 සවුදි අරාබි රජයේ අනුග‍්‍රහයෙන් සිදුකර ඇතැයි ඇය එම වාර්තාවෙන් පවසනවා. ඒ වැරදි 6 සිදුකර ඇත්තේ ජමාල් කෂෝගි සම්බන්ධයෙනුයි. ඒ සිදුවීමෙන් පසුව තවත් වැරදි 4ක් සිදුකර ඇති බව ඇය පෙන්වනවා. විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් සිදුකිරීම, අන්තර්ජාතික වශයෙන් සිදුකරන පරීක්ෂණවලට සහාය දැක්වීම, සාධාරණ විභාගයකට ඉඩකඩ සැලසීම, සිදුවීම යටපත්කර නොතැබීම යන වගකීම් සවුදි රජය පැහැරහැර ඇති බව පෙන්වනවා.

ඊට අමතරව ඇය සිය වාර්තාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට හා තුර්කියට මේ සිදුවීම පිළිබඳව විමර්ශන කිරීම ගැන යෝජනාවලියක්ද ඉදිරිපත් කර තිබෙනවා. එම රාජ්‍යයන් දෙකට සහාය දක්වන්නැයි අනෙකුත් රාජ්‍යයන්ට යෝජනා කර තිබෙනවා. ඒ අනුව නිල වශයෙන්ම නවීන ප‍්‍රතිසංස්කරණ සිදුකරන බවට නමක් ගොඩනඟානිමින් සිටි සවුදි අරාබිය දරුණු ඝාතකයෙක් බව නිල වශයෙන් පිළිගත හැකියි.

ඝාතනය සිදුවූ හැටි

ඝාතනය සිදුකළේ සවුදිය බව නිල වශයෙන් කියන්නේ කෙලෙසද. එයට පැහැදිළි සාක්ෂි තිබෙනවාද. ඇත්තෙන්ම මේ වෙද්දී සවුදි රජයේ ඉහළම නිලධාරීන්ද ඇතුළු 15 දෙනෙකු මූලිකව මැදිහත්වෙමින් කෂෝගීව ඝාතනයට සැලසුම් සකස් කිරීම, ඝාතනය කිරීම හා ඝාතනය යටගැසීම යන සිදුවීම්වලට මැදිහත්වී ඇති බව පැහැදිළිව හෙළිවී තිබෙනවා. ඒ පුද්ගලයන්ගේ පසුබිම මෙන්ම, එම්බීඑස් කුමරු සමඟ ඔවුන්ට ඇති සම්බන්ධයද දැනට හෙළිවී තිබෙනවා. ඡායාරූප, වීඩියෝ, හඬපට ආදී සාක්ෂි ගණනාවක් දැනටමත් හෙළිවී හමාරයි. තවම පැහැදිළිවම හෙළිවී නැති කරුණ වන්නේ ඝාතනයට එම්බීඑස් කුමරු අණදුන්නාද, අණදුන්නේ කෙසේද යන්නයි. එහෙත් කුමරුගේ සමීප හිතවතුන් ඝාතනය සිදුකර ඇති ආකාරයත්, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියා කුමරුගේ ඍජු විවේචකයෙකු වීමත්, සිදුවීමෙන් පසුව විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකිරීමට කුමරු මැදිහත් නොවීමත් නිසා මේ වෙද්දී එම්බීඑස් කුමාරයාට චෝදනාවෙන් ගැලවී යා නොහැකියි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත එතෙක් පැවති සාක්ෂි මත සිදුකළ ගවේෂණයකින් පසුව සිදුවීම සිදුවූ ආකාරය සාක්ෂි ඇතිව එකිනෙක පෙළගස්වා තිබුණා. දළ වශයෙන් ඝාතනය සිදුව ඇත්තේ මෙසේයි. සැප්තැම්බර් 28 වැනි සිකුරාදා කෂෝගි හා ඔහුගේ පෙම්වතිය ඉස්තාන්බුල්වල විවාහ කාර්යාලයකට ගොස් තිබුණා. එහිදී දන්වා තිබුණේ විවාහ වීමට නම් සවුදි අරාබියානු ලියකියවිලි අවශ්‍ය බවයි. ඒ අනුව කෂෝගී සවුදි කොන්සල් කාර්යාලයට යා යුතු වුණා තිබුණා. මේ සිදුවීම සවුදි ඔත්තුකරුවෙකු වන අහ්මද් අල් හුසේනිට දැනගන්න ලැබිලා. එදිනම ඔහු රියාද් වෙත ගොස් තිබුණා. සැලසුම් සකස් කර තිබුණේ ඉන්පසුවයි.

ඔක්තෝබර් 01 වැනි සඳුදා රාත‍්‍රියේ හා පසුවදා උදෑසන දක්වා සිදුවීමේ ඉතිරි කොටස සිදුවී තිබුණා. සවුදි නියෝජිතයන් පිරිසක් ඝාතනය සඳහා තුර්කියේ ඉස්තාන්බුල් වෙත ගියා. රියාද් සිට ඔත්තුකරු හුසේනි ගුවන්යානයකින් ඉස්තාන්බුල් වෙත ආවා. වාණිජ ගුවන් යානයකින් කයිරෝ සිට තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එදිනම ඉස්තාන්බුල් වෙත ගොස් තිබුණා. ඒ තිදෙනාගෙන් දෙදෙනෙක් ආරක්ෂක නිලධාරීන්. ඔවුන් කෙළින්ම සවුදියේ එම්බීඑස් කුමරු සමඟ ගමන්බිමන් ගොස් තිබුණු නිලධාරීන්.

ඉන්පසුව රියාද් සිට පෞද්ගලික ජෙට් යානයකින් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පාන්දර 3.30ට පමණ ගොස් තිබුණා. ඒ ජෙට්යානය සවුදි රජය පාවිච්චි කළ එකක්. පෞද්ගලික ගුවන්යානයේ ගිය නවදෙනාගෙන් යුත් කණ්ඩායමේ මේ කුරිරු සිදුවීමේ මහ මොළකරුවන් සිටියා.

සලාහ් අල් තුබේජි කියන්නේ ඉන් එක් අයෙක්. ඔහු මෘතශරීර පිළිබඳ විශේෂඥයෙක්. ඔහු සවුදි රජයේ ඉහළම නිලධාරියෙක්. අනෙක් තැනැත්තා මුස්තාෆා අල් මඩානි නමැත්තෙක්. ඔහු 57 හැවිරිදි ඉංජිනේරුවෙක්. ඔහු පෙනුමෙන් කෂෝගීට බොහෝ සමානකම් දක්වන කෙනෙක්. ඒ ජෙට් යානයේ සිටි අනෙක් ප‍්‍රධාන පුද්ගලයා වන්නේ මහර් මුට‍්‍රබේ. ඔහු මේ සිදුවීම මෙහෙයවූ මහමොළකරු. ඔහු එම්බීඑස් කුමරු සමඟ අන්තර්ජාතික සංචාර ගණනාවකදී ගමන් ගත් අයෙක් බව ඡායාරූපවලින් ඔප්පු වී තියෙනවා.

බොස්ටන්, නිව්යෝර්ක්, පැරිස්, මැඞ්රිඞ් වැනි සංචාරවලදී එම්බීඑස් කුමරු සමඟ ඔහු සිටින අන්දම ඡායාරූපවලින් හෙළිවෙනවා. සවුදි කණ්ඩායම් කොන්සල් කාර්යාලය අසබඩ හෝටල් කාමර දෙකක නවාතැන් ගත්තා.

අප පෙර කීවා කෂෝගි සිකුරාදා තුර්කියේ විවාහ කාර්යාලයකට සිටි බව. ඉන්පසුව කෂෝගී සති අන්තයේ ලන්ඩන් වෙත ගොස් සිටියා. නැවත ඔහු තුර්කියට ආවේ අඟහරුවාදායි. එදින කෂෝගී කළේ පෙම්වතිය සමඟ නව දිවියක් ඇරඹීමට මහල් නිවාසයක් බැලීමට යෑමයි.

සවුදි ඝාතක කණ්ඩායම කොටස් වශයෙන් එදින කොන්සල් කාර්යාලයට ඇතුලූවී තිබුණා. ඔවුන් ඇතුලූවෙන අන්දම කැමරාවල සටහන් වී තිබෙනවා. ඝාතන මහමොළකරු, මෘත ශරීර විශේෂඥයා, කෂෝගිට සමාන පෙනුමක් තිබුණු ඉංජිනේරුවා ඇතුලූවෙන අන්දම පැහැදිළිව කැමරාවල සටහන්ව තිබෙනවා.

මේ අතර කොන්සල් කටයුතු සඳහා පාවිච්චි කරන මෝටර්රථයක් හා වෑන් රථයක් කොන්සල් කාර්යාලයට ඇතුලූවී තිබෙනවා. වෑන්රිය අතුරු දොරටුවකින් කාර්යාල ඉඩමට ඇතුලුවී තිබෙනවා. කෂෝගිගේ සිරුර පසුව රැගෙන යන්නේ ඒ වෑන්රිය.

ඝාතනයට සියල්ල සැකසෙන අතරේ කෂෝගී හා පෙම්වතිය අතිනත අල්ලාගෙන කොන්සල් කාර්යාලය අසලට පැමිණ තිබුණා. පවසන අන්දමට රාත‍්‍රී ආහාර ගන්නා හැටිත්, ඔවුන්ගේ නිවසට අලුත්ම ගෘහභාණ්ඩ ගන්නා හැටිත් එතැනදී ඔවුන් කතාකරමින් ගියාලූ. දවල් 1.13 වෙද්දී ඔවුන් කොන්සල් කාර්යාලයට පැමිණ තිබුණා. ඇතුලට යද්දී පරීක්ෂා කරන නිසා සිය දුරකථනය පෙම්වතියට දී ඔහු ඇතුලූවෙනවා. අප කෂෝගීව දකින අවසාන වතාව ඔහු කාර්යාලයට ඇතුලුවෙන සීසීටීවී දර්ශනයි.

කාර්යාලයේ දෙවැනි මහලේ කාර්යාලයකට කෂෝගිව රැගෙන ගොස් තිබුණා. එතැනදී පහරදී එතැනින් තවත් කාමරයකට ඇදගෙන ගොස් දෙවැනි කාමරයේදී ඝාතනය කර තියෙනවා. ඉන්පසුව මෘතශරීර විශේෂඥයා ගීතයක් අසමින් කෂෝගිගේ සිරුර කොටස් කරන්න පටන්ගත් බව කියනවා. ඒ අතරේ මහමොළකරු දුරකථන ඇමතුමක් දී කටයුත්ත නිමකළ බව දැනුම් දී තිබෙනවා.

ඉන්පසුව අතුරු දොරටුවෙන් ශරීර කොටස් රැගත් වෑන්රිය පිටවී තිබුණා. ඒ අතරේ අනෙක් කණ්ඩායම කෂෝගීගේ ඝාතනය යටගසන්නට කටයුතු සූදානම් කරමින් සිටියා. අප පෙර කී පරිදි කෂෝගිගේ පෙම්වතිය සිටියේ කොන්සල් කාර්යාලය ඉදිරිපස දොරටුව අභියසයි. කාර්යාලයේ පසුපස දොරටුවෙන් දෙදෙනෙක් පිටවී තිබුණා. ඒ අතර සිටි එක් අයෙක්ව කෂෝගී ලෙස සවුදි කොන්සල් කාර්යාලය හඳුන්වා තිබුණා. එහෙත් පසුව පැහැදිළිව ඔප්පු කර තිබුණේ ඒ කෂෝගී නොව කෂෝගිගේ ඇඳුම් ඇඳගත් ඉංජිනේරුවා බවයි. කෂෝගිගේ ඇඳුම් සියල්ල ඇඳගත්තත්, එක වැරැද්දක් ඔවුන් කර තිබුණා. ඉංජිනේරුවා පැළඳ සිටියේ ඔහු කාර්යාලයට ඇතුලූවෙද්දී පැළඳ සිටි සපත්තු දෙකයි. කෂෝගිගේ සපත්තු නොවෙයි.

මිනිය රැගත් වෑන්රිය සවුදි කොන්සල්වරයාගේ නිල නිවෙස වෙත ගොස් තිබුණා. ඒ අතරේ කෂෝගීගේ ඇඳුම ඇඳගත් පුද්ගලයා ගමන් කරන අන්දමත් වීඩියෝවල සටහන්ව තිබුණා. පසුව ඔහු තමන්ගේම ඇඳුම්වලට මාරුවී තිබුණා. ඒ අනුව ඇතුලට ගිය කෂෝගී එළියට නොආ බව පැහැදිළි වුණා. එළියට ගිය බව ඔප්පු කරන්නට පුලුවන් වුණානම් සවුදියට චෝදනාවෙන් ගැලවෙන්නත් යම් ඉඩක් තිබුණා. එහෙත් කෂෝගී කොන්සල් කාර්යාලය ඇතුලේදී අතුරුදන් වූ බව තහවුරු වෙන කරුණු එළියට එන්නට පටන්ගනිද්දී සවුදිය සිදුවීම යටපත් කරන්නට එකිනෙකට නොගැලපෙන විවිධ බොරු කීවා. ඒ බොරුවලින් සවුදියට එරෙහි චෝදනාව තව තවත් ඔප්පු වුණා. මේ වෙද්දී සවුදිය කියන්නේ නියෝගවලට පිටින් ගිය සවුදි නිලධාරීන් පිරිසක් කෂෝගිව ඝාතනය කර ඇති බවත්, ඔවුන්ට මරණ දඬුවම දෙන බවත්.

ඇමෙරිකාවේ පාවාදීම

කෙසේ වෙතත් කෂෝගිගේ කතාව ගැන ඇමෙරිකාවේ මැදිහත්වීම ලෝක දේශපාලනය මත තීරණාත්මක බලපෑමක් සිදුකරන සිදුවීමක් වුණා. පසුගිය සතියේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජමාල් කෂෝගි ඝාතනය ගැන පරීක්ෂණ සිදුකරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිදුකර ඇති යෝජනාව ප‍්‍රතික්ෂේප කර තිබුණා. එයින් ඇමෙරිකාව හා සවුදි අරාබිය අතර සිදුකිරීමට නියමිත ආයුධ ගණුදෙනුවට හානි වනු ඇතැයි ඔහු කියා තිබුණා. ඒ සිදුවීම ගැන පරීක්ෂණ රැසක් කර ඇති බව පවසමින් ට‍්‍රම්ප් පරීක්ෂණ යෝජනාව මඟහැර තිබුණා.

මුල සිටම ඩොනල්ඩ් ට‍්‍රම්ප් මේ භයානක ඝාතනයේ රෙදි හෝදන්නට පටන්ගෙන තිබුණා. ඔක්තෝබර් 9 වැනිදා ඔහු මාධ්‍ය වෙත කියා තිබුණේ තමන් එම්බීඑස් කුමරුට කතාකළ බවත්, ඔහු ඒ ඝාතනය ගැන නොදන්නේයැයි තමන්ට කී බවත්. ඇතැම්විට මේ ඝාතනය නියෝගවලට පිටින් ගිය පිරිසක් කළ එකක් විය හැකි බව ට‍්‍රම්ප් එහිදී කියා තිබුණා. ට‍්‍රම්ප් ඍජුවම හොරාගෙන් පේන ඇසීමත්, පසුව හොරාගේ අම්මාගේ චරිතයට ආරෝපණය වීමත් ලොවපුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරිකයන්ව සලිත කරවන සුළු වුණා. විශේෂයෙන්ම තමන් යටතේම සිටින ඇමෙරිකානු ඔත්තු සේවය වන සීඅයිඒ සංවිධානය විශේෂ පරීක්ෂණයකින් පසුව ඝාතනයට සවුදිය වගකිව යුතු බව නිල වශයෙන් දැනුම් දී තිබියදී ට‍්‍රම්ප් එම්බීඑස් කුමරුගේ වචනය විශ්වාස කරමින් ඒ ප‍්‍රකාශය නිකුත් කර තිබුණා.

එයින් පසුව ට‍්‍රම්ප් ප‍්‍රසිද්ධියේ කියා තිබුණේ ඇමෙරිකාව සවුදිය සමඟ ඩොලර් බිලියන 100ක ආයුධ ගණුදෙනුවක් කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ චෝදනාවක් නිසා ඒ ගණුදෙනුව නවත්වන්නට තමන් සූදානම් නැති බව ට‍්‍රම්ප් ඉතා පැහැදිළිව කියා තිබුණා. “ඔවුන් එක්ක බිස්නස් නවත්තන බව කියන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි. මම එහෙම කීවොත් ඔවුන් රුසියාව හෝ චීනය එක්ක බිස්නස් කරාවි”. ට‍්‍රම්ප් එලෙස කියා තිබුණා.

ට‍්‍රම්ප් කියන්නේ දැන් තනි පුද්ගලයෙක් නෙවෙයි. ඔහු නියෝජනය කරන්නේ ඇමෙරිකාවයි. ඒ අනුව දැවැන්ත ආයුධ ගණුදෙනුවක් නිසා ප‍්‍රසිද්ධීයේ මානව හිමිකම් පාවාදීමට නිල වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළා. ඒ අනුව කෂෝගී ඝාතනයෙන් සවුදියේ මෙන්ම ඇමෙරිකාවේත් නිරුවත හෙළිවුණා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button