දේශීය

“රතන දැන්වත් මහණ ‌වෙන්න, නැතිනම් සිවුරු හරින්න…!”

- සල්පිටියේ ධම්මදස්සි හිමියෝ ලියති (ලංකා ඊ නිව්ස් ඇසුරින්)

සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් නඩුව විමසීම ‌පෙරේදා දිනය තුළ ආරම්භ වීමත් සමග අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව විසින් පිටු දෙසිය ගණනකින් සමන්විත වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම විමර්ශණ වාර්තාව තුළින් සාධාරණ කරුණු ගණනාවක් පෙන්වා දී තිබු අතර පසුගිය කාලය තුළ දිවයින, මව්බිම, හිරු හා දෙරණ වැනි රාජපක්ෂ හිතවත් මාධ්‍ය විසින් සාෆි වෛද්‍යවරයාගේ ප්‍රශ්නය සම්බන්ධව “තලියෙහි පැනෙ හි කිඹුලන් පෙන්වමින්” රට තුළ මහත් ගිනි විච්ජුම්බරයක් දියත් කිරීමට ගත් තැත මුලුමනින්ම සුන්නද්දුලි කරලීමට සමත්විය.

සැබවින්ම අප විමසා බැලිය යුත්තේ දිවයිනේ ප්‍රථමයෙන්ම පළ වු “තව්හිද් ජමාද් වෛද්‍යවරයෙක් ලෙස සාෆි වෛද්‍ය වරයා හඳුන්වා දෙමින් වඳ සැත්කම් 4000ක් සිදු කළා” යැයි කියන ප්‍රවෘත්තියේ සිට ය. එම පුවතට අනුව සාෆි වෛද්‍යවරයා තව්හිද් ජමාද් සංවිධානයට අයත් සාමාජිකයෙකි. එමෙන්ම ඔහු සිංහල ජාතිය වඳ කිරීම සඳහා බලහත්කාරයෙන් හෝ සිංහල කතුන් රවටා වඳ සැත්කම් 4000 ක් කර තිබේ. එහෙත් ඒවා සිසර් සැත්කම් නොවන අතර ඒ සියල්ල වඳ සැත්කම්ය.

ඒ අනුව සාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනෙන්නේ හදිසි නීතිය යටතේ හා ත්‍රස්තවාදය මර්දන කිරීමේ නීති යටතේය. එසේ නම් ඔහු ත්‍රස්තවාදියෙකි.

මෙය වෛද්‍යවරු මුදල් මත හඹාගෙන යාමේ තරගයේ ප්‍රතිපලයකි

නමුත් අද වනවිට එම සිද්ධිය විකාශනය වී තිබෙන තත්ත්වය දක්වා ගෙන බලන විට ඔහුට තව්හිද් ජමාත් සංවිධානය හා සම්බන්ධතාවයක් නැත. එමෙන්ම ඔහු සිදුකර තිබෙන සැත්කම් කිසිවක් වඳ සැත්කම් නොවන අතර ඒවා සාමාන්‍යයෙන් රෝහල් තුල මව්වරුන් දරුවන් බිහි කිරීමේ දී ගැබිණි මව්වරුන්ගේ පමණක් නොව බාරකරුවන්ගේ ද කැමැත්ත හා අභිලාශය පරිදි සිදු කරන ලද සීසර් සැත්කම්ය. සීසර් නැතහොත් සිසේරියන් සැත්කම් අපේ රටේ සිදු කරන්නේ මුස්ලිම් වෛද්‍යවරුන් පමණක් නොවේ. සිංහල දෙමළ සියලු වෛද්‍යවරු එම සැත්කම කරති. එසේම එම සැත්කම් කරන වෛද්‍යවරු තම ජාතියට අයත් මව්වරු පමණක් නොව අනෙක් ජාතීන්වලට අයත් මව්වරු ද එම සැත්කම්වලට භාජනය කරති.

‘රතන වියරුව’

එසේනම් සාෆි වෛද්‍යවරයා විසින් සිදු කළ සිසේරියන් සැත්කම් පමණක් ගැන කතා කරන්නේ අහවල් ලබ්බකට ද යන්න පැහැදිළි නැත. නමුත් මේ සියල්ල පසුපස පවතින සත්‍ය නම් අපේ රටේ වෛද්‍යවරු මුදල් මත හඹාගෙන යාමේ තරගයේ ප්‍රතිපලයක් විනා අන් කිසිවක් නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සාෆි වෛද්‍යවරයාට එරෙහිව අවි අමොරා ගැනීමට මාන බලමින් සිටි කුරුණෑගල මහ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරුන්ට හා විමල් වීරවංශගේ කල්ලියට අයත් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂවරයාට සංවර්ධන ලොතරැයියක් ඇදීම හා සමානය. සාෆි වෛද්‍යවරයා හා ගැටුමක් සිදුවු කුරුණැගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ජයලත්ගේ බිරිඳට ද මෙම කාරණය පළි ගැනීමට මහඟු අවස්ථාවක් විය.

මෙම කාරණයෙන් වඩාත් පොරක් බවට පත්වුයේ එතෙක් යන එන මං නැතිව දේශපාලනය තුළ අතරමංව සිටි අතුරලියේ රතන ට කඩාපනින්නට අවස්ථාවක් මෙමගින් සැලසුනු නිසාය. ඇත්තටම මේ සිද්ධිය නිසා වඩාත් වියරුවට පත් වුයේ අතුරලියේ රතන නැමැත්තායි. අපි හස්ති වියරුව ගැන මෙන්ම වෙනත් වියරුන් ගැන අසා ඇත්තෙමු. නමුත් සාෆි වෛද්‍යවරයාගේ සිද්ධිය හරහා මතුවු බරපතලම වියරුව නම් ‘රතන වියරුව’යි.

ඇත්ත වශයෙන්ම මම ද භික්ෂුවක් වශයෙන් වෛද්‍ය විද්‍යාත්මක කාරණා සම්බන්ධයෙන් මට ඇත්තේ ද එහෙන් මෙහෙන් අහුලා ගත් දැනීමක් පමණි. වෛද්‍ය විද්‍යාව තුළ සිදු කෙරෙන සැත්කම් හා ඒවා සඳහා යොදා ගන්නා උපකරණ, ක්‍රියාවලිය හෝ එමගින් ඇතිවන සංකූලතා ගැන මට වැටහීමක් නැත. එහෙත් බුදුදහම තුළ පවා සාකච්ඡා කෙරෙන මිනිස් සිරුර ගැන සිතා බලන්නේ නම් මට වැටහෙන කාරණයක් නම් ආහාර ජීරණ පද්ධතිය හා මෞත්‍ර – ලිංගික පද්ධතිය යනු එකිනෙකට සම්බන්ධයක් නැති පද්ධති දෙකකි. අප කන කෑමවලින් සමස්ත සිරුරේම පෝෂණයට එය බලපෑවත්, දරුවන් පිළිසිඳ ගැනීම හෝ එය වැළැක්වීමට ආහාර මගින් සිරුරට ඇතුළත් කරන වඳ බෙහෙත් ඇතැයි මා පිලිගන්නේ නැත. මේ සම්බන්ධයෙන් ලිපි රැසක් කියවුව ද ඒ එකකවත්, ආහාරවලට වඳ බෙහෙත් කළවම් කර හෝ ඇඳුම්වලට වඳ බෙහෙත් ඉස කාන්තාවන් හෝ පිරිමින් වඳ භාවයට පත් කළ හැකිබවට කිසිදු තොරතුරක් මා හට හමුවුයේ නැත.

මවිසින් කළින් සඳහන් කළ පරිදි සාෆි වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීමත් සමග මුස්ලිම් කඩවල් , වෙළෙඳ ව්‍යාපාර වර්ජනය කිරීමක් දක්වා එය රට තුළ ව්‍යාප්ත කිරීමට තැත් කළේ අන් කිසිවෙක් නොව අතුරලියේ රතන, ඕමල්පේ සෝබිත, චන්න ජයසුමන වැනි අය හා මහජනතාව ඇවිස්සිය හැකි ඕනෑම කුනුකන්දලයක් රටට පොම්ප කිරීමට ලකලැහැස්ති ව සිටින දිවයිනේ, මව්බිමේ, දෙරණේ හා හිරු හි සිටින මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිරිසක් විසිනි.

තමන්ගේ ඇඳිවත තමන්ම ගලවා ගත් රතන

පසුගියදා (27) සී අයිඩීය විසින් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු වඩාත් කුපිත වුයේ අතුරලියේ රතනයි. ඔහු මාධ්‍ය ඉදිරිපිට කළ ප්‍රකාශය හා හැසිරීම දෙස බලන විට පෙනී ගිය කාරණය නම් තමන්ගේ ඇඳිවත තමන්ම ගලවා ගත් බව දැන් හොඳටම අතුරලියේ රතන ට වැටහී ඇති බවයි. ඔහු සීඅයිඩී වාර්තාව විවේචනය ක‌ෙ‌ළේ අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පවා සාෆි ට සහාය දක්වන බවට ඉඟි කරවමිනි. ඒ බව හඟවන පුවත්පත් සිරස්තල පෙරේදා (28) පුවත්පත් වල පළ වී තිබීීමෙන් ඒ බව වටහා ගත හැකිය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ ආරාධනය මත ඇමරිකන් තොරතුරු තාක්ෂණ විශේෂඥයින් පිරිසක් එන බවට රජය කළ ප්‍රකාශය සමග වියරු වැටුන අතුරලියේ රතන ලා ‘ඇමරිකන් කාරයෝ අපේ විමර්ශනවලට එපා’ යැයි ජනමාධ්‍ය ඉදිරියේ විරෝධය පෑහ. නමුත් සාෆි සිද්ධිය සම්බන්ධයෙන් සීඅයිඩී වාර්තාව නිකුත් වු පසු අතුරලියේ රතන ඊයේ ගිරිය පුම්බමින් කියා සිටියේ ඇමරිකානු වෛද්‍ය පර්යේෂණායතනයක වෛද්‍යවරුන් පිරිසක් ස්වේච්ඡාවෙන් මෙම විමර්ශණ කටයුතු සඳහා ගෙන්වීමට තමන් කටයුතු කරන බවයි.

දැන් ඇමරිකන්කාරයෝ හොඳ දැයි රතනගෙන් අපි ඇසිය යුතුය

මහා සංඝයාවහන්සේලා මේ තරම් වියරුවෙන් හැසිරුණ යුගයක් අපි මින් පෙර දැක නැත්තෙමු. අස්ගිරියේ මහානායක හාමුදුරුවෝ එක්තරා අවස්ථාවක ප්‍රකාශ කලේ එක්සත් ජාතික පක්ෂය අතීතයේ සිටම මේ රට විනාශ කළ බවයි. හෙතෙම ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් ඉදිරියේ කියා සිටියේ “මං කියන්න ඕනෑ දේ උන්දැලාට රෙද්දේ හුජ්ජ වෙන්න ම දුන්නා” වැනි අදහසකිනි. එහෙත් එක්සත් ජාතික පක්ෂය යනු මේ රටට විශාල සේවයක් කළ පක්ෂයක් තවත් නැති බව මහානායක උන්නාන්සේට අමතක වුයේ කෙසේදැයි මම නොදනිමි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයෙක් වන ලක්ෂමන් කිරිඇල්ල දුන් සීසී ටීවී උපකරණ පද්ධතිය අස්ගිරියේ නායක උන්නාන්සේ බාර ගත්තේ සිවුර ඇදගෙන දැයි මම නොදනිමි.

ඊට නොදෙවෙනිව යමින් අතුරලියේ රතන ද සාෆි වෛද්‍යවරයා හා සීඅයිඩී වාර්තාව සම්බන්ධව අදහස් පළ කළේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සම්බන්ධව ද මහජනතාව තුළ කුකුසක් ඇතිවන අයුරිනි.

භික්ෂුන් වහන්සේලා යනු සියල්ලම දන්නා අය නොවෙති

සැබවින්ම මේ සියල්ල පසුපස පවතින්නේ වෛරය හා තරහා බව කිව යුතුය. මගේ අදහස නම් භික්ෂුන් වහන්සේලා යනු සියල්ලම දන්නා අය නොවෙති. ඔවුහු ධර්මය පිළිබඳ දැනුමේදීත් එක් එක් විෂයය පිළිබඳව විශේෂඥභාවයක් තිබිය හැකිය. පැවිදිවීමට පෙර තමන් උසස් පෙළ විද්‍යා විෂය ධාරාව හදාරා තිබිමෙන් හෝ අපොස සාමාන්‍ය පෙළ ට විද්‍යාව විෂයය හැදෑරීමෙන් පමණක් විද්‍යා විෂය ධාරාවට අයත් විෂය කරුණු ගැන විශේෂඥ දැනුමක් ලබා ගත නොහැකිය. එම නිසා තමන් නොදන්නා කරුණු සම්බන්ධයෙන් බාගෙට අදහස් ප්‍රකාශ කිරීමට යාමෙන් සිදුවන්නේ මහත් අවැඩකි.

ඉන් පෙර සමාජය තුළ තමන්ට කිසියම් කීර්තියක් ලැබී තිබුනේ නම් එය ද එමගින් අහිමි වේ. අනික් කාරණය නම් තරහා, වෛරය, ක්‍රෝධය මත පිහිටමින් ඇඟ හා මුහුණේ මස්පිඩු වෙවුළුවමින්, බෙල්ලෙහි නහර පුම්බමින් හා යටි ගිරිය පුප්පවමින් අදහස් ප්‍රකාශ කිරීමට යාම භික්ෂුත්වයට උචිත කාරණයක් නොවේ. එය එක්තරා විදියකට මානසික ව්‍යාධියකි.

විනය පිටකයට අනුව රතනගේ මානසික ව්‍යාධිය

විනය පිටකය තුළින් හෙළිවන්නා වූ මානසික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවේදයන් රැසක් වේ. විනය පිටකයට අමතරව සූත්‍ර පිටකයෙහි හා අභිධර්ම පිටකයෙහි මානසික සෞඛ්‍ය සංක්ෂණ ක්‍රමවේදයන් රාශියක් දැක්වේ. ඒ අනුව ඛුද්දක නිකායේ අනුමාන සූත්‍රයේ දී මානසික රෝගී තත්වයන් රාශියක් පිළිබඳ ඉගැන්වෙයි. තරහා හා වෛරය කරන පුද්ගයා සතු ලක්ෂණ පහත කරුනුවලින් අවබෝධ කර ගත හැකිය.

  • ක්‍රෝධ කරන සුළු වූයේ ඒ හේතුකොට ගෙන බද්ධ වෛරයෙන් යුතු වීම
  • ක්‍රෝධ කරන සුළු වූයේ ඒ හේතුකොට ගෙන ගැටෙන සුළු වීම
  • ක්‍රෝධ කරන සුළු වූයේ ඒ හේතු කොට ගෙන ක්‍රෝධ වදන් කීම
  • චෝදනා කරන විට චෝදකයාට ප්‍රතිවිරුද්ධ චෝදනා නැගීම
  • චෝදනා කරන විට චෝදකයා හා ගැටීම
  • චෝදනා කරන විට චෝදකයාට පෙරලා චෝදනා කිරීම
  • චෝදනා කරන විට චෝදනාව අනිකකින් වැසීම
  • චරිත ශුද්ධිය නොමැතිකම
  • ගුණමකු වීම
  • ඊර්ෂ්‍යා කිරීම, මසුරුවීම,
  • කෛරාටික වීම, මායා ඇති වීම
  • තද බව ඇත්තේ, අධික මානය ඇතිවීම.
  • සිය දෘෂ්ඨියම පරමාදර්ශනය කරන්නේ, එය දැඩි කොට ගන්නේ බැහැර කිරීමට නො හැකි වීම.

ඔබ ‌පෙරේදා එනම් 27 දින අතුරලියේ රතන විසින් කරන ලද ප්‍රකාශය දෙස බලන්න. ඔහු එහිදී හැසිරුණේ ඉහත සඳහන් සියලුම කරුණු පදනම් කරගෙන නොවේද? ඔහුට අවශ්‍යව ඇත්තේ ඔහු දරන මතය සමාජය තුළට කා වැද්දීමයි. ඒ මතය සමාජය පිළිනොගනී නම් ඔහු සිතන්නේ එම තැනැත්තා තමන්ගේ පරම සතුරෙක් බවයි.

රතන මහින්දට විරුද්ධ වීම හා යළි එක්වීම

2015 ට පෙර මහින්ද රාජපක්ෂ මහතාගෙන් වැඳුම් පිදුම් ලද අතුරලියේ රතන 2015 වනවිට මහින්ද රාජපක්ෂ සමග තරහා වුයේ අතුරලියේගේ මතය මහින්ද පිළිනොගත් නිසාය. අවසානයේ මහින්ද සිහසුනෙන් ඇද දැමීමට ඔහු මෛත්‍රිපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ පසුපස ගියේය. 2015න් පසු බිහිවු එම රජයේ අසාර්ථක ව්‍යාපෘතියක් වු කාබනික වගාව ව්‍යාප්ත කිරීමට කළ උත්සාහය අසාර්ථක වුයේ ගොවීන්ට ඉන් ලද ආදායම ප්‍රමාණවත් නොවු නිසාය. ගොවිහු කාබනික වගාව අත්හැර දැමුහ. එමනිසාම අතුරලියේ රතන ගේ ව්‍යාපෘතියට රජය මුදල් ලබා දීම අත් හිටවුයේය.

එහි ප්‍රතිපලය වුයේ ඔහු නැවතත් මේ රජය පෙරළීමට මහින්ද හා එක්වීමයි. පාස්කු බෝම්බය පිපිරෙන්නේ ඒ අහු අස්සේය. තමන්ගේ පිරිහී යමින් පවතින ප්‍රතිරූපය යළි නංවාලීම සඳහා ඔහු මුස්ලිම් විරෝධය කරට ගත්තේය. එහෙත් සාෆි වෛද්‍ය වාර්තාව සමග නැවතත් ඔහු හිටියාටත් වඩා පහළට ඇද වැටෙමින් තිබෙන්නේ බුදුදහම අනුව වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන්නාට සමාජය තුළ කිසිදු පිලිගැනීමක් නැති බව පසක් කරවමිනි.

රතන වියරුව සමාජයට ගැලපෙන්නේ නැත

අතුරලියේ රතන වියරුව සමාජයට ගැලපෙන්නේ නැති බව උන්වහන්සේ තේරුම් ගත යුතුව ඇත. එහෙත් වෛද්‍ය විද්‍යාත්මක සත්‍ය නම් මුග්ධභාවය කෙකෙතුගේ මනස තුළ ක්‍රියාත්මක වන විට, මොළය මගින් තව තවත් මුග්ධභාවයට හේතුවන රසායනික ක්‍රියාවලිය ශක්තිමත් කරවයි. එමනිසා ම ඔහු ජාති අන්ධයෙක් බවට පත්වේ. නැතහොත් අමු මෝඩයෙක් බවට පත් කරවයි. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් ඔහු විසින් කළ යුතු වන්නේ ඥානවන්තභාවය පිළිබඳව තම සිරුර තුළ රසායනික ක්‍රියාවලිය දල්වා ගත යුතු වීමයි. එවිට ඔහු සමස්ත සමාජයම පිලිගන්නා බුද්ධිමතෙක්, ඥානවන්තයෙක් බවට පත් කරවයි.

ඔහුගේ ප්‍රභාවයෙන් සමස්ත ලෝකයම බබලවයි. අද මෛත්‍රිපාල සිරිසේන උන්නැහැට සිදුව ඇත්තේ ද එයයි. උන්නැහැ ද සිදු කරන්නේ තවතවත් මුග්ධභාවය වැඩි කිරීමේ ක්‍රියාවලියම පමණි. සත්‍ය ඔහු පිලිගන්නේ නැත. ඒ නිසාම ඔහු සමාජය තුළ අපහාසයට උපහාසයට ලක්වෙයි. රතනට කිව යුත්තේ ද එයමය.

එබැවින් රතන, දැන්වත් වියරුව වළක්වා ගන්න. එය මොලොව හා පරලොව දොලොවටම වැඩ දායක වේ. එසේ නැතිනම් කිව යුත්තේ “රතන දැන්වත් මහණ ‌වෙන්න නැතිනම් සිවුරු හරින්න…!”


සල්පිටියේ ධම්මදස්සි හිමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button